Presidential Secretariat of Sri Lanka

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක්.

  • ත්‍රස්තවාදය මර්දනයට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක්.
  • මෙරට අත්අඩංගුවේ ඇත සියලුම ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කිරීමට එකඟතාව.

නව ජනපතිගේ  සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව අගමැති මෝදි පවසයි.

සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි. ඒ අනුව සහන ණය ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ක්‍රියාකරන බව ඉන්දීය නායකයා පැවසීය. තවද ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
අද (29) දහවල් හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවති දෙරටේ රාජ්‍ය නායකයන් අතර හමුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තම ආරාධනය පිිළිගෙන සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණීම අසල්වාසී රාජ්‍ය ලෙස තම රටට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව පැවසූ මෝදි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබාගත් විජයග්‍රහණය පිළිබඳව සිය සතුට පළ කරමින් සමස්ත ඉන්දීය ජනතාවගේම සුභාශිංසන ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ද සඳහන් කළේය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ආර්ථීක, දේශපාලන හා සමාජයීය වශයෙන් ඉදිරියට රැගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වූහ. දෙරටේ ආරක්ෂාව ප්‍රමුඛතාව ලෙස සලකා ක්‍රියාකිරීමට රාජ්‍ය නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
දෙරට අතර සමීප ආර්ථික සහයෝගතාවයකින් ක්‍රියාකිරිම පිළබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය. ද්වීපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ.

දිගුකාලීන ගැටලුවක්ව පැවති  ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ සංහිඳියා කි්‍රයාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ මෝදි මැතිතුමා උතුරු නැගෙනහිර ඇතුලු සියලු පළාත් වල සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමාට ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකට ආරාධනය කිරීම පිළිබඳව සිය ස්තූතිය  පළ කළ අතර, ඉන්දීය අග්‍රමාත්‍යවරයාට ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ඇරයුම් කළේය. ඉන්දියාව සමඟ සමීප ආර්ථීක සහයෝගීතාවයකින් ක්‍රියාකරන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවසීය.
සාකච්ඡාවලින් අනතුරුව නායකයන් දෙපළ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පිළිගැන්වූ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හයිද්‍රාබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ ග්‍රන්ථයේ සමරු සටහනක් ද තැබීය.

පුවත්

Most popular