Presidential Secretariat of Sri Lanka

ජනාධිපතිතුමා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හමුවෙයි.

අද (30) දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.
එහිදී නිලධාරින් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිතුමා දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයෙන් තානාපති සේවයේ කාර්යභාරය ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
මේ අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිහු එක්ව සිටියහ.
මහාබෝධි සංගමයේ සභාපති සහ දඹදිව සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූහ.
සාංචි විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය සහ එහි දියුණුව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලාංකිය වන්දනාකරුවන් වෙනුවෙන් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උන්වහන්සේ  ජනාධිපතිතුමා දැනුවත් කළහ.ඉන්දීය සාමණේර භික්ෂූන්  වහන්සේලා වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද උන්වහන්සේ  අදහස් පළ කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ භාරත ජනතා පක්ෂයේ මහ ලේකම් රාම් මාදෙව් (Ram Madhav) මහතා අතර හමුවක් ද අද පස්වරුවේ සිදු විය. ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ රාම් මාදෙව් මහතා ජනාධිපතිතුමාට සිය සුභාශීංසන පළ කළේය.
මේ අතර හින්දු පුවත්පතේ  කතෘ  Sohashi Hyder මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පුවත්

Most popular