Presidential Secretariat of Sri Lanka

ජනාධිපතිවරයා

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, 2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමන් විසින් වර්ෂ 2019 ක් වූ නොවැම්බර් මස 18 වන දින අනුරාධපුරයේ  ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන ලදී. මෙතුමාණන් ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියා ද වේ. ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලත් මෙතුමා, සිය සමීපතම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන 1.3ක් ලබා ගත්තේය. මෙතුමා ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙනි.

වර්ෂ 1945 දී මෙලොව එළිය දුටු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමන්ගේ පුත්‍රයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහෝදරයෙක් ද වෙයි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා 1971 දී ශ්‍රී ලංකා හමුදාවට බැඳුණේය. හමුදා සේවයේ නිරතව සිටියදී මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපනය විෂයයෙහි පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගත් මොහු පකිස්ථානයේ, ඉන්දියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති උසස් පුහුණු පාඨමාලාවන්ට ද සහභාගී වී ඇත. ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී තත්ත්වයන් පැවති කාල වකවානුවේ දී මොහු උතුරු හා නැගෙනහිර පළාත්හි ත්‍රස්ත විරෝධී ක්‍රියාන්විතයන් බොහෝමයක් මෙහෙයවූයෙන් රණ ශූරත්වය සහ සතුරා ඉදිරයේ අභීතව සටන් කිරීම වෙනුවෙන් රණ වික්‍රම හා  රණ ශූර යන පදක්කම් වලින් ද පිදුම් ලැබීය. සටන් බිමෙහි  විදහා පෑ නිර්භීත ක්‍රියා කලාපය හේතුවෙන් මොහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් මෙන්ම යුධ හමුදාපතිවරයාගෙන් ද පැසසුම් ලැබීය. ලුතිනන් කර්නල්වරයකු ලෙස 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය ව්ෂයය හදාරා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් 2005 වසරේ දී පෙරළා ශ්‍රී ලංකාවට සපැමිණීමට පෙරාතුව, කැලිෆෝනියාවේ ලොයොලා නීති විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදියකු ලෙස ද සේවයෙහි නියැළි සිට ඇත.

2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ දී ස්වකීය සහෝදරයා ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත් කරනු ලැබීය. මෙකී ධූරය උසුලමින් මෙතුමා, 1970 වර්ෂයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීව පැවැති කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය පරාජය කරලීම අධීක්ෂණයෙහි නියැලෙමින් ජාතියේ ආරක්ෂාව තහවුරු කරලමින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය. 2006 දෙසැම්බර් මාසයේ ස්වකීය රාජකාරි කටයුතු වල නියැළෙමින් සිටිය දී මෙතුමන් ගමන් ගත් වාහනය ඉලක්ක කරගනිමින් එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පදවනු ලැබූ පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් වාහනයක් පුපුරුවා හැරීමක් සිදු කරනු ලැබු අතර එම ඝාතන තැතින් මෙතුමා දිවි ගළවා ගත්තේ යන්තමිනි.

ඉන් අධෛර්යමත් නොවූ මෙතුමා 2009 වර්ෂයේ මැයි මාසයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පරාජය කරනු ලබන තෙක්ම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අවශ්‍ය උපාය මාර්ග, සැලසුම් කිරීම්, සම්බන්ධීකරණය ඇතුළු සෑම අවශ්‍යතාවක් ම සපයාලමින් වසර 30කට පසු ශ්‍රී ලංකාවට සාමය උදා කරලීම අරබයා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව තුළ මෙතුමන් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන ලද දායක්ත්වය ඇගයීමට ලක් කරමින් කොළඹ විශ්ව විද්‍යාලය විසින් මෙතුමන් වෙත ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.

ත්‍රස්තවාදය නිමා කරලීමත් සමඟ, යුද්ධය පැවැති ප්‍රදේශය ශ්‍රීඝ්‍රයෙන්යළි යථා තත්ත්වයට පත් කරලීම වෙනුවෙන් ද ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් මූලිකත්වය ගනිමින් ක්‍රියා කළේය. උතුරු හා නැගෙනහිර පළාත්හි බිම් බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කරලීම ආදී ක්‍රියාකාරකම්හි හමුදාමය මැදිහත් වීම මෙන්ම අධීක්ෂණය ද මෙතුමන් විසින් සිදු කෙරිණි. හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කොට යළි සමාජ ගත කිරීම මොහුගේ අධීක්ෂණයට ලක් විය. හමුදාමය සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන සාමකාමී කාර්යභාරයක් සපුරාලීමේ ආයතන බවට පරිවර්තනය කරලීම අධීක්ෂණය කරනු ලැබූ අතරම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා රටේ බුද්ධි තොරතුරු අංශ සවිමත් කරලීමේ ක්‍රියාකිරකම් රාශියක් ද මූලාරම්භ කරන ලදී. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු සිය විෂය පථය යටතේ ගැනෙන විවිධ වූ රාජ්‍ය ආයතනයන්හි සුවිශේෂී ශක්‍යතා සංවර්ධනයක් ද මෙතුමන් අතින් ඉටු විණි.

යළි සාමය උදාවීමත්, ආර්ථික වර්ධනය කඩිනම් කරලීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු වීමත් සමඟ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිපාලනමය විෂය පථය, නාගරික සංවර්ධනය පිළිබඳ වගකීම ද අදාළ වන පරිදි පුළුල් කෙරිණි. රාජ්‍යාරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, මෙතුමා රටේ භූ දර්ශනය වෙනස් කරලනු පිණිස උන්නතිකාමී, දූරගාමී මෙන්ම විශිෂ්ට ලෙසින් සාර්ථකත්වයක් ලත් වැඩසටහනක් දියත් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාරත්වය යටතේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ වල, ඉතා දිගු කලක සිටම පීඩාකාරීව පැවති ගැටළුකාරී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරලමින් විසඳුම් ලබාදෙන ලදී. ගංවතුර පාලනය කිරීම සහ ජලාපවාහන පද්ධතිය කළමනාකරණය, ඌණ පහසුකම් සහිත ජනාවාස වල වැසියන්හට පහසුකම් සහිත නිවෙස් ලබාදීම, මහ ජනතාව සඳහා වන එළිමහන් ස්ථාන වල ඉඩ ප්‍රමාණය සහ තත්ත්වය වැඩි දියුණු කරලීම, ඓතිහිසික ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම, මාර්ග පද්ධති සහ පදික වේදිකා ශ්‍රීඝ්‍රයෙන් වැඩි දියුණු කරලීම, පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ කසළ බැහැර කිරීම අමාත්‍යංශ ලේකම් වශයෙන් සිය ධූර කාල සීමාව තුළදී ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් ප්‍රමුඛ වෙයි. කොළඹ නගරය දකුණු ආසියාවේ වඩාත් දැකුම්කළු මෙන්ම මනාව කළමනාකරණය කරන ලද නගරයක් ලෙස පිළිගැනීමට ලක්වීම, මෙතුමන් විසින් රට වෙනුවෙන් සිදු කෙරුණු සේවාවේ විශිෂ්ටත්වය ඉස්මතු ගෙනහැර පාන්නකි. නාගරික ප්‍රදේශයන් තුළ සිදු කරනු ලැබූ මෙම වෙනස, සැලකිය යුතු තරමේ විදේශ ආයෝජනයක් ශ්‍රී ලංකාව කරා ආකර්ශනය කරගැනීමට ඉවහල් විණි.

2015 ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ශ්‍රී ලංකාවේ රජය වෙනස් වීමත් සමඟ, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉල්ලා විය. 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථම එතුමා රටට යහපත් අනාගතයක් නිර්මාණය කරලීම අරබයා කැපවීමෙන් යුත් වෘත්තීයවේදීන් රැසකගෙන් යුත් වියත් මඟ සංවිධානය මෙන්ම ජනතාව කෙරෙහි තීරණාත්මකව බලපාන ගැටළු විසඳාලමින් තත් කරුණු පිළිබඳව පොදු ජනතාව දැනුවත් කරලීමත් පිණිස එළිය සංවිධානය ද ආරම්භ කළේය.

අයෝමා මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ වන අතර, ඔවුනගේ පුතණුවෝ මනෝජ් නම් වෙති.

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular