Presidential Secretariat of Sri Lanka

ජනාධිපතිවරයා

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක

රනිල් වික්‍රමසිංහ මහතා 2022 වර්ෂයේ ජූලි මස 21 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.  ඔහු අවස්ථා හයක දී  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු 1993 – 1994 කාලය තුළ ඔහු ප්‍රථම වරට අගමැති ධුරය සඳහා පත් වූ අතර, ඉන් අනතුරුව 2001 වසරේ සිට 2004 වසර දක්වා කාලය තුළ, එනම් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේදී එක්සත් ජාතික පෙරමුණු රජයට නායකත්වය දීම සඳහා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූයේය. 2015 වර්ෂයේ ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් විණි. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ඔහුව නීතිවිරෝධී ලෙස අගමැති ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව, 2018 දෙසැම්බර් මාසයේ දී ඔහුව නැවතත් අගමැති ධූරය සඳහා පත් කිරීමට එවකට සිටි ජනාධිපති සිරිසේන මහතාට සිදු විණි.  2019 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු වික්‍රමසිංහ මහතා සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේය. රටේ ආර්ථික හා දේශපාලන කඩාවැටීම අවම කරගැනීම සඳහා මෙතුමන්ගේ විශේෂඥභාවය සහ අත්දැකීම් උපයෝගී කරගැනීම අරමුණු කොට ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී අන්තර්වාර ආණ්ඩුවක අගමැතිවරයා වශයෙන් කටයුතු කරන ලෙස සිදු කරන ලද ආරාධනය පිළිගනිමින් මෙතුමා විසින් නැවතත් අගමැති ධූරයේ වැඩ බාරගන්නා ලදී.

මෙතුමා 1946 වර්ෂයේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා වේ. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සහ පළපුරුදු නීති සම්පාදකයෙකු වන මොහු1977 වසරේ සිට (2020 වසරේ අගෝස්තු මාසයේ සිට 2021 වසරේ ජුනි මස දක්වා මාස 10 ක විවේක කාලයක් හැරුණු කොට) සියලුම පාර්ලිමේන්තූන්හි මන්ත්‍රීවරයෙකු ලෙස රටට සේවය කළ පුද්ගලයෙකු වේ.

දේශපාලන ආරම්භය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු, එනම් 1949 වර්ෂයේ දී උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා සැබවින්ම නව නිදහස් යුගයේ නායකයෙකි. වෘත්තියෙන් නීතීඥවරයෙකු වන මොහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංගමයේ  සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර 1977 වසරේ දී (වයස අවුරුදු 28 දී) පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. එවකට ශ්‍රී ලංකාවේ සිටි ලාබාලතම අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ජනාධිපති ජයවර්ධන මහතා යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය හොබවන ලදී. ඉතා ඉක්මනින්, ඔහුගේ සුවිශේෂී දක්ෂතා සහ සියලුම කාර්යයන් සඳහා ඇති අද්විතීය හැකියාව අගයමින්, ඔහු යෞවන කටයුතු හා රැකියා පිළිබඳ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයට පත් කෙරිණි.

ඉන් අනතුරුව, ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධුරය හිමි විය. ඉන්පසුව 1989 වසරේ දී කෘතහස්ත ව්‍යවස්ථාදායකයෙකු ලෙස ඔහු ජනාධිපති ප්‍රේමදාස මහතා යටතේ සභානායක ධූරයට පත් කෙරුණු ලැබූ අතර කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද මෙතුමන් විසින් කටයුතු කරනු ලැබ තිබේ.

පූර්ව ජයග්‍රහණ

1977 වර්ෂයේ සිට 1994 වර්ෂය දක්වා එජාපය අඛණ්ඩව බලයට පත් වූ වසර 17ක කාලය තුළ ගතික තරුණ දේශපාලනඥයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට සංවර්ධනය සඳහා තීරණාත්මක බලපෑමක් සිදු කරන ලදී. 1980 ගණන්වල පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුව ඉලක්ක කර ගනිමින් මෙතුමන් විසින් ආරම්භ කරන ලද රැඩිකල් ප්‍රතිසංස්කරණ හේතුවෙන් බොහෝ දෙනා විසින් මොහුව රට බිහිකළ හොඳම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සලකනු ලැබේ. එම ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි වැනි විෂයයන් වැඩිදියුණු කිරීම සහ තාක්ෂණ හා පරිගණක කුසලතා හඳුන්වාදීම යන කරුණු ඇතුළත් වේ. මෙතුමන් විසින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS) හරහා අධ්‍යාපන සේවය ද වෘත්තීයකරණය කරන ලදී. ඔහු විසින් ශ්‍රී ලාංකේය ගුරුවරුන් සඳහා පුහුණුව ලබා දීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (NIS) සහ විද්‍යා පීඨ ආරම්භ කරන ලදී. තවද මොහු විසින් මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය සහ තරුණ සංවර්ධන සංවිධානයක් වන ජාතික යොවුන් සේනාංකය (NYC) ද ආරම්භ කරන ලදී. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට තුඩු දුන් ආධුනිකත්ව පුහුණුව ද මෙතුමන් විසින් ප්‍රතිසංවිධානය කරන ලදී. යෞවන සමාජ (යොවුන් සමාජ) සහ තරුණ කඳවුරු (යොවුන්පුර) හරහා සංවිධානය කෙරුණු නිර්මාණාත්මක, අභිප්‍රේරණ, කුසලතා සංවර්ධන වැඩසටහන් මඟින් මොහු විසින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ශක්තිමත් කරනු ලැබිණි.

පසු ව, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස (1989-1994), 1989 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දෙවන වටයේ  ආර්ථික ලිබරල්කරණයේ  වගකීම ඔහු සතු විය. එය මූල්‍ය විධිමත්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන් ම කර්මාන්ත වතු ආයතන හරහා ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්ත ප්‍රවර්ධන මත  සංකේන්ද්‍රණය විය. විද්‍යා හා තාක්ෂණ පනත සමගින්,  Info-Sri Lanka ප්‍රදර්ශනය මුල් කර ගනිමින් ඔහු විසින් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දෙන ලද අතර මෙරටට අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති Al Gore මහතා සමග 1993 වර්ෂයේ දී ගිවිසුමක් අත්සන් කරන ලදී. ඔහුගේ කාර්මීකරණ උපායමාර්ගය මගින්, ජනාධිපති ප්‍රේමදාස රණසිංහ මහතාගේ ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ව්‍යාපෘතියට මග පෙන්වන ලදී.  ප්‍රවර්ධනය කරන ලද වෙනත් කර්මාන්ත අතර රබර් අත්වැසුම්, මෝටර් රථ සහ කාර්මික ටයර් සඳහා අගය එකතු කිරීම ඇතුළත් විය.

1977 වර්ෂයේ දී, බියගම යනු දිවයිනේ අඩු ම සංවර්ධනයක් සහිත මැතිවරණ කොට්ඨාශවලින් එකක් විය.  බියගම ආසනයේ මන්ත්‍රීවරයා‍ ලෙස ඔහුගේ මැතිවරණ කොට්ඨාශය තුළ කාපට් කරන ලද මාර්ග, විදුලිය, ජලය, සනීපාරක්ෂක පහසුකම්, පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ වෙනත් යටිතල පහසුකම් ලබා දී විශ්මයජනක සංවර්ධනයක් ඇති කරමින් නවීන මාදිලියේ උප නගරයක් බවට පත් කරන ලදී. ඔහුගේ ආර්ථික සංවර්ධන වැඩසටහන් හේතුවෙන් බියගම නගරය අද වන විට අපනයනය ඉලක්ක කර ගත් ප්‍රමුඛත ම කලාපීය ආර්ථිකයන්ගෙන් එකක් බවට පත් වී ඇත.  එහි එක් පසෙකින් කැළණි ගඟ සහ අනෙක් පසින් සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපය(1993) ඇතුළත්  බියගම නිදහස් වෙළඳ කලාපය (1985) සහ දහස් ගණනක් සේවක සේවිකාවන් රැකියාවේ නියුතු කර්මාන්ත පරාසයක නිෂ්පාදන ප්‍රදේශ කිහිපයක් සහිත  ආයෝජන ප්‍රවර්ධන කලාපයක් පවතී.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා

1993 වර්ෂයේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ හදිසි අභාවයෙන් පසු ව, ඩී බී විජේතුංග මැතිතුමාගේ කෙටි ජනාධිපතිධූර කාල සීමාව තුළ දී, අනපේක්ෂිත ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් විය. ඕනෑම අභියෝගයක් භාර ගැනීම සඳහා සූදානමෙන් සිටි  තරුණ අගමැතිවරයා එම ඉහළ ධූරයේ අදාළ වගකීම් නොබියව භාර ගත්තේය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී රටේ නීතිය, සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ. ඔහු විසින් රටේ ආර්ථිකය මැනවින් පවත්වාගෙන යන ලද අතර දශකයේ ඉහළ ම ආර්ථික වර්ධනය මෙම කෙටි කාලසීමාව තුළ වාර්තා කරන ලදී. ඔහු විසින් නව තාක්ෂණය හඳුන්වා දෙන ලද අතර නව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එල්ටීටීඊ සංවිධානය (දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය) සමග සටන් කිරීම සඳහා යුධ හමුදාව ශක්තිමත් කරන ලදී.

එක්සත් ජාතික පක්ෂ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

1994 දී එක්සත් ජාතික පක්ෂය ඡන්දෙයන් පරාද වීමෙන් පසු ව,  ඔහුගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය වරින් වර ආයතනික සහ බිම් මට්ටමේ පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීම් වට කිහිපයකින් සිදු කර ඇත. විශේෂයෙන් ම ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂභාවය සහ තරුණ නියෝජනය සම්බන්ධයෙන් වඩාත් සාධාරණ සමතුලිතතාවක් සහතික කිරීම සඳහා පක්ෂය ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමට ඔහු කටයුතු කර ඇත.

1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් විය.

නැවත නැවතත් අගමැති ධූරයට තේරී පත් වීම.

2001 වර්ෂයේ දී නැවතත් පක්ෂය බලයට ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබා දුන් අතර 2001 සිට 2004 දක්වා ඔහු අගමැති ධූරයට පත් විය. පාලනය භාර ව ප්‍රතිවිරුද්ධ පක්ෂයේ ජනාධිපතිවරයෙකු සහ විශාල විපක්ෂයක් පැවතිය දී වුව ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ළඟා කර දුන් වඩා සුවිශේෂී ජයග්‍රහණ ලෙස පූර්ණ කාලීන ව නැවත විදුලිය ලබා දීම, 2002 වර්ෂයේ දී -1.55% කට පමණ  වැටී තිබු ආර්ථිකය 3.96% දක්වා  වර්ධන වේගයකින් ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම, රට තුළ පැවති වාර්ගික බාධක ඉවත් කිරීම, එල්ටීටීඊ සංවිධානය සාකච්ඡා සඳහා කැඳවා ගැනීමට කටයුතු කිරීම සහ ජාත්‍යාන්තර ප්‍රජාවගේ හොඳ හිත වර්ධනය කර ගැනීම මෙන් ම ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කිරීම දැක්විය හැක.  2004 වර්ෂයේ දි පළමු වතාවට, සියවස් ගණනාවකට පසු රට සහලින් ස්වයංපෝෂිත විය.

2015 ජනවාරි මස සිදු වූ විපක්ෂයේ තවත් උත්සාහයකින් පසු ජනාධිපති සිරිසේන මහතා තේරී පත් වීමෙන් අනතුරු ව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කරන ලදී. මාස කිහිපයකට පසු ව පැවති මහ මැතිවරණයෙන් පසු ව ඔහු නැවතත් අගමැති ධූරයට පත් විය.  මෙවර ද ඔහුට 2018 වර්ෂයේ සිට තමාට විරුද්ධ ජනාධිපතිවරයෙකු යටතේ රජයේ කටයුතු කිරීමට සිදු විය. ජනාධිපති සිරිසේන මහතාගේ ක්‍රියාවන් ගැන නොතකමින්, ආයතනික යහපාලනය සඳහා ව්‍යවස්ථාදායක සහ නිතිමය ප්‍රතිසංස්කරණ මාලාවක් ඇතුළු ව සුවිශේෂී කාර්යයන් මෙම කාලය තුළ දී සිදු කරන ලදී. ජනාධිපති ධූරයේ පුළුල් බලතල කප්පාදු කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනය ගෙන ඒම මගින් නැවත පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදය ආපසු ලබා දීම මෙයට ඇතුළත් වේ. අනෙකුත් නීති අතර, දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස විධිවිධාන අවලංගු කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත, ජාතික විගණන පනත සහ සක්‍රිය වගකීම් පනත බලාත්මක කිරීම දැක්විය හැකිය. නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීෙම් දී නිසි ක්‍රියා පටිපාටිය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු පිහිටුවන ලදී.

(එමගින් රටේ මානව හිමිකම් පැතිකඩ දියුණු කිරීම). 2018 වර්ෂයේ දී පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය 25% ක අවම කෝටාවකට ඉඩ සළසමින් දේශපාලනය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා නීති සම්පාදනය කරන ලදී. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් වසර 62 කට පසු ව ප්‍රථම වතාවට 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අයවැය දර්ශකය අතිරික්තයක් පෙන්නුම් කරන ලදී. එය 2019 වර්ෂයේ දී නැවතත් සිදු විය. අනෙකුත් කාර්යයන් අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම(දිවයින ම ආවරණය වන පරිදි හදිසි වෛද්‍ය සේවය – සුවසැරිය ස්ථාපනය කිරීම), රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ජාත්‍යාන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම දැක්විය හැක.

2020 වර්ෂයේ අගෝස්තු මාසෙය් දී රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය පරාජය වූ අතර එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ එක් ප්‍රසාද ආසනයක් පමණක් හිමි විය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන විට ඔහු තත්‍ය වශෙයන් විශ්‍රාම ලබා සිටියේය. රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික කළමනාකරණය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ වර්ධනය වෙමින් පවතින අර්බුදය සමනය කිරීම සඳහා ඔහුගේ විශේෂඥ දැනුම ලබා දීම වෙනුවෙන් එසේ කිරීමට සිදු විය.

පවුල

1949 මාර්තු 24 වැනි දින උපන් රනිල් වික්‍රමසිංහ මහතා 1995 දී විවාහ වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ප්‍රධාන මහාචාර්ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ , ප්‍රාරම්භක අධ්‍යක්ෂිකා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟයි. ඇය පර්යේෂණ, ඉගැන්වීම/පුහුණුව, ප්‍රතිපත්ති සංවර්ධනය, උපදේශනය සහ ක්‍රියාවාදය යන ක්ෂේත්‍රයන්හි නියැලීම තුළින් ස්ත්‍රී පුරුෂ භාවය සහ කාන්තා අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වූ ලේඛිකාවකි/කථිකාවියකි.

එතුමා එස්මන්ඩ් සහ නාලිනී වික්‍රමසිංහ යුවලගේ දෙවැනි පුත්‍රයාය. එතුමාට සහෝදරයන් තිදෙනෙක් සහ එක් සහෝදරියක්  සිටින අතර ඔවුහු තම වෘත්තීන් සහ සම්බන්ධිත ක්ෂේත්‍රවල කැපී පෙනෙන අය වෙති. කීර්තිමත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා වරක් ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ සභාපතිත්වය ද ඉසිලීය. 1965 වර්ෂයේ දී, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් සඳහා ප්‍රදානය කරනු ලබන වාර්ෂික සම්මානය වන “නිදහසේ රන් පෑන” නම් වූ සම්මානය එතුමා වෙත පිරිනමන ලදී. නාලිනී වික්‍රමසිංහ යනු, මෙරට ප්‍රසිද්ධ නිදහස් සටන්කාමීයෙකු මෙන්ම එකළ පුවත්පත් ගණනාවක හිමිකාරත්වය දැරූ, ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රකාශන ආයතනය වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ වූ, ඩී. ආර් විජේවර්ධන මහතාගේ දියණියයි. ඇය 1950 දශකයේ සිට 1980 දශකය දක්වා සිංහල නාට්‍ය, කලා ශිල්ප හා සංස්කෘතික පුනර්ජීවනය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කලා ක්ෂේත්‍රයේ අනුශාසකවරියකි.

අධ්‍යාපනය සහ අනෙකුත් කටයුතු

රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ඇති එතුමා 1972 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයකු ලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව වසර පහක කාලයක් තිස්සේ  නීතිඥවරයකු ලෙස පරිචය ලැබීය. 2014 දී, ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ් හි මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබට් ඊ. විල්හෙල්ම් සාමාජිකත්වය හෙබවීය. 2017 දී, ඔහු විසින් රට වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට දේශපාලන සේවය අගයමින්, ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. 2015 – 2022 කාල වකවානුවෙහි දී එතුමා ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ලෙස පත් කෙරුණු අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (නිලය අනුව) නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

දේශපාලනයෙන් පරිබාහිරව, ඔහු ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර බුද්ධි මණ්ඩලයක් වන Geopolitical Cartographer (GC) හි අනුශාසකයා වේ. එහි අරමුණ වන්නේ, ඉන්දියානු සාගරය, පැසිෆික් සාගරය සහ සම්බන්ධිත භූ ස්කන්ධය තුළ සිදු කෙරෙන ගෝලීය දේශපාලන පර්යාය නැවත සකස් කරන්නාවූ භූ දේශපාලනික සහ භූ ආර්ථික සංවර්ධනයන් පිළිබඳ අධ්‍යයන, පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීමයි.

කැපවීම් සහ අභිරුචීන්

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික විහාරස්ථානයක් වන කැලණි විහාරයේ දායක සභාවෙහි මුලසුන හොබවන ලද අතර ගංගාරාමය, වාලුකාරාමය සහ වේරගොඩැල්ල (සේදවත්ත) යන විහාරස්ථානයන්හි දායකයෙකු වශයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකා ඉතිහාසය, සාහිත්‍යය, ලෝක දේශපාලනය සහ බුද්ධ ධර්මය පිළිබඳව පෘථුල වශයෙන් විමසුමට ලක් කරමින් එතුමා ලේඛනයේ මෙන්ම කථනයේ ද යෙදී ඇත. උද්යෝගිමත් පාඨකයෙකු ලෙස, ඔහු තම අයිපෑඩය මගින් කලාපීය දේශපාලනය, ජාත්‍යන්තර කටයුතු සහ ලෝක ඉතිහාසය සම්බන්ධ පොත් සහ වෙබ් ලිපි මහත් අභිරුචියෙන් කියවයි.  සිංහල සංගීතය, බටහිර සම්භාව්‍ය, ඔපෙරා සහ බොලිවුඩ් ගීත අගය කරන රනිල් වික්‍රමසිංහ මහතා දෙස් විදෙස් යන දෙවගර්යෙහිම ආහාරපාන ප්‍රිය කරන අතර තම බිරිඳ සමඟ ඓතිහාසික වැදගත් ස්ථාන වෙත සංචාරය කිරීමට ද ඇල්මක් දක්වයි.

පුවත්

Most popular