Presidential Secretariat of Sri Lanka

ජනාධිපති ලේකම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින් සන්නද්ධ පුද්ගලයෙකු වේ. මොහු ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ද, රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන තිබේ.  මෙතුමන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇත.

ඒකනායක මහතාට තරුණ කටයුතු, මානව සම්පත් කළමනාකරණය, දිළිඳු බව පිටුදැකීම, නිවාස හා නාගරික සංවර්ධන සහ මාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ බහුවිධ අත්දැකීම් ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම ලන්ඩනයේ සහ ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කිරීම තුළින් ඔහු විසින් ලබා ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පුළුල් අත්දැකීම් ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේදී ඔහුට අතිරේක සුදුසුකමක් වී තිබේ. නිවාස ඉදිකිරීම, ප්‍රජා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ ආපදාවලට ඔරොත්තු දෙන නගර සැලසුම් සංවර්ධනය කිරීම ආදී කටයුතු මගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ගැටුම්වලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබන UNHABITATහි සම්බන්ධීකාරක සහ දේශීය වැඩසටහන් කළමනාකාරවරයා වශයෙන් ද ඒකනායක මහතා කටයුතු කර තිබේ. වත්මන් පත්වීමට පෙර ඔහු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

වෘත්තීය කටයුතු පිළිබඳ වාර්තාව

2022 ජූලි මස සිට ජනාධිපති ලේකම්
2022 මැයි මස සිට 2022 ජූලි මස දක්වා අග්‍රාමාත්‍ය ලේකම්
2015 ජනවාරි මස සිට 2019 නොවැම්බර් මස දක්වා අග්‍රාමාත්‍ය ලේකම්
2014 ජූනි – 2015 ජනවාරි UNHABITAT දේශීය වැඩසටහන් කළමනාකරු
2013 අගෝස්තු – 2014 මැයි UNHABITAT සම්බන්ධීකාරක
2012 පෙබරවාරි – 2013 අගෝස්තු අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශය
2008 සැප්තැම්බර් – 2012 ජනවාරි අමාත්‍ය, ශ්‍රී ලංකා මහ කොමසාරිස්
කාර්යාලය, ලන්ඩන්
2005 සැප්තැම්බර් – 2008 සැප්තැම්බර් අධ්‍යක්ෂ ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යංශය
2002 අගෝස්තු – 2005 අගෝස්තු අමාත්‍ය, ශ්‍රී ලංකා මහ කොමසාරිස්
කාර්යාලය, ක්වාලාලම්පූර්
2000 අප්‍රේල් – 2002 අගෝස්තු අධ්‍යක්ෂ (පරිපාලන), විදේශ කටයුතු අමාත්‍යංශය
1997 නොවැම්බර් – 2000 අප්‍රේල් අධ්‍යක්ෂ (පරිපාලන), ජාතික තරුණ
සේවා කවුන්සිලය
1996 සැප්තැම්බර් – 1997 නොවැම්බර් නියෝජ්‍ය අධ්‍යක්ෂ, නිවාස හා නාගරික
සංවර්ධන අමාත්‍යංශය
1994 සැප්තැම්බර් – 1996 සැප්තැම්බර් සහකාර ලේකම්, තරුණ කටයුතු, ක්‍රීඩා
සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය
1993 ජූනි – 1994 සැප්තැම්බර් සහකාර ලේකම්, අග්‍රාමාත්‍ය කාර්යාලය
1992 පෙබරවාරි – 1993 ජූනි සහකාර අධ්‍යක්ෂ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
1989 මාර්තු – 1992 පෙබරවාරි සහකාර අධ්‍යක්ෂ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය
1986 නොවැම්බර් – 1989 මාර්තු සහකාර ලේකම්, මිනිස් ශ්‍රමය බලමුළු ගැන්වීම
පිළිබඳ අමාත්‍යංශය
1986 ජූනි – 1986 නොවැම්බර් සහකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
1985 මැයි – 1986 මැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා පුහුණුලාභී (කැඩෙට්) ,
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

පුවත්

Most popular