Presidential Secretariat of Sri Lanka

ජනපති සුනාමියෙන් විපතට පත්වුවන් සිහිපත් කරයි

වසර 15 කට පෙර හටගත් සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද (26) විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විඳිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එක් වෙයි.

“ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ඛේදවාචකය සුනාමි ව්‍යසනයයි. එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන් අප කිසිවිටෙකත්  සිතින් බැහැර නොකළ යුතුය”  එය අතීත අත්දැකීමක් කර ගනිමින් ඉදිරියේ දී එවන් විනාශ ඇතිවීම වළක්වා ගැනිම සඳහා පෙර සුදානමක වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සමඟ අනුගත විය යුතු අතර එම කටයුතු නිරන්තර සමාලෝචනයකට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සුනාමි විපතට ගොදුරුව දැයට අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියලුදෙනා සිහිපත් කිරිම ජාතියේ වගකිමක් බව පැවසු ජනාධිපතිතුමා එවන් විපතක් යලිත් කිසිදු දිනයක නොව්වායි ද ප්‍රාර්ථනා කර සිටී.

පුවත්

Most popular