Presidential Secretariat of Sri Lanka

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාව

කාර්යක්ෂම හා ප්‍රශස්ත සේවාවක් සැපයීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක්.

  • සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවිය යුතුයි.

ජනපති අවධාරණය කරයි.

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.

එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය.

අද (26) පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය .

අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් ආයතනයේ ක්‍රියාකාරිත්වය විමසා බැලිය.

“කාලය සෑම අයෙකුටම ඉතා වැදගත්. එහෙයින් සේවා ලාභීන්ට කඩිනමින් සිය අවශ්‍යතාව ඉටුකරදීමට කැපවිය යුතුය” වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද සේවා අවශ්‍යතාවයන් කඩිනමින් ඉටුකරදීමට කටයුතු කළ යුතු බව  ජනාධිපතිතුමා සඳහන් කළේය.

“සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට එය භාරගත් වේලාව සඳහන් කර නැවත භාර ගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීම වැදගත් වේ. එවිට ආයතනය තුළ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටු කර ගැනීමට ජනතාවට හැකි වේ” ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අතිවිශාල ජනතාවකට සේවා සපයන ආයතනයක් වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන නිරන්තරයෙන් ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එහිදී දූෂණ, වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරින් තරයේ ක්‍රියාකළයුත බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධිධාරින් 54,000න් සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනිමට හැකි බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දේශපාලනඥයෝ සහ රාජ්‍ය සේවකයෝ සිය ක්‍රියාකලාපයන් නිසා ජනතා අප්‍රසාදයට පත්ව සිටිති. එය වෙනස්කිරීමට දෙපාර්ශ්වයම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වීද්‍යා පිඨ රෝහල ද අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාර ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

විද්‍යාපීඨ රෝහලේ පවතින සියලු අඩු පාඩු කඩිනමින් විසදා පූර්ණ ක්‍රි යාකාරිත්වයට පත් කිරීමට පියවරගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 68 දෙනෙකුගේ අවශ්‍යතාව ඉටු කරනු ලබන්නේ 40 දෙනෙකු විසිනි. සාමාන්‍ය වෛද්‍යවරු සිය දෙනෙකු පමණ අවශ්‍ය වුවද ඒ සඳහා සේවය සපයනු ලබන්නේ විසි දෙනෙකු පමණ බව අනාවරණය විය.

ඇඳන් 700කින් සහ වාට්ටු 09කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04 ක් පමණි. සියලු අඩු පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට අනුව එය ඉටුවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ගාලු මුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය ද අද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ ලක් කෙරිණ.

 

පුවත්

Most popular