Presidential Secretariat of Sri Lanka

වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට ජනපතිගෙන් උපදෙස්

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළට සරිලන ශ්‍රමිකයන් බිහි කරන්න.
අඩු ආදයම්ලාභී ප්‍රජාව නඟා සිටුවීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කොට ඉහළ නිපුණතාවෙන් යුත් ශ්‍රමිකයන් දේශිය සහ අන්තර්ජාතික රැකියා වෙලඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටුකරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට කියා සිටී.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමඟ අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

දෙස් විදෙස් රැකියා වෙළඳපොළ අධ්‍යයනය කරමින් එම අවශ්‍යතා සපුරාලීය හැකි පාඨමාලා හඳුන්වාදීම කඩිනම් කලයුතුය. දිළිඳු ප්‍රජාව නඟා සිටුවීමට ස්වයං රැකියා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

නිපුනාතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයට අයත් ආයතනවල විෂය පථය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිතුමා කරුණු විමසා බැලීය.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙයි. ඒ සියලු ආයතන ඒකරාශි කරමින් විධිමත් සහ සැලැසුම්සහගත වැඩපිළිවෙළක් සම්පාදනය කළයුතුය.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුර තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම වැදගත්ය. පාඨමාලා හඳුන්වාදීමේ දී මෙන්ම පාඨමාලා නම් කිරීමේ වෘත්තීය ගරුත්වයක් සහ ආකර්ශනයක් හිමිවන අන්දමින් සැලසුම් කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

රටේ වැදගත්ම ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තයයි. ඊට අදාළ උපාධි පාඨමාලා නොතිබීම ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා වෛද්‍ය, ඉන්ජිනේරු ක්ෂේත්‍රයන් සේම කෘෂිකර්මාන්තයේ ප්‍රවීණයන් සහ පර්යේෂකයන් ද රටට දැඩිව අවශ්‍ය බව කියා සිටියේය. එබැවින් නව පාඨමාලා හඳුන්වාදීමේ දී එකී අඩු පාඩු ඉවත් වීමේ වැදගත්කම පැහැදිළි කළේය.

ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට ද නිසි පුහුණුවක් ලබාදී වෘත්තීය ගරුත්වයක් ඇති ශ්‍රමිකයන් ලෙස රැකියා අවස්ථා උදා කළයුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති පුහුණු හෙදියන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සහ ඊට අදාළ පුහුණුවීම් පිළිබඳව ද සාකච්චා කෙරිණි.

වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් කඩිනමින් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරීනේගේ අවධානය යොමු කළේය.

පුරවැසියන් ඉලක්කකරගත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ඵලදායීතා ලේකම් කාර්යාලයේ කාර්ය භාරය ද සමාලෝචනය කෙරිණි.

රාජ්‍ය ආයතනවල ඵලදායීතාව වර්ධනය සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජන ජීවිතයට සෘජුව බලපාන මහජන සේවා සපයන ආයතන කිහිපයක් හඳුනාගනිමින් ඒවායේ කාර්යක්ෂතාව සහ ඵලදායීතාව විමර්ශනයක් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

අඩු ආදයම් ලාභි සහ ඉහළ අධ්‍යාපන සුදුසුකම් රහිත තරුණයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ ජනාධිපතිතුමාගේ වැඩසටහන සඳහා නිපුණතා සංවර්ධක රැකී රක්ෂා සහ කම්කරු සබඳතා ආමාත්‍යංශයේ දායකත්වය ද විමර්ශණය කෙරිණි.

අමාත්‍යාංශ 03 ක් යටතේ පැවති නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා යන විෂයන් විද්‍යාත්මක පදනමකින් එක අමාත්‍යාංශයක් යටතට ගෙන ඒමට ජනාධිපතිතුමා ගත් පියවර රටේ සංවර්ධනයට රැකුලක් බව නිලධාරිහු පෙන්වා දුන්හ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්න, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයේ ලේකම් ඩී.එම් සරත් අබේගුණවර්ධන, උසස් අධ්‍යාපන, තාක්ෂන හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular