Presidential Secretariat of Sri Lanka

තෛපොංගල් පණිවුඩය

ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ‍්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි. කෘෂිකර්මය මූලික කොට ජීවනෝපාය සලසා ගන්නා සියලූ දෙනා මෙදින සූර්ය වන්දනාව සිදුකර සූර්ය දෙවියන්ට කෘතගුණ දක්වමින් අභිවෘද්ධිය භක්ති පූර්වකව අපේක්‍ෂා කරති.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත‍්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසය යි.

තෛපොංගල් උත්සවයෙන් අපේක්‍ෂිත අරමුණු සාධනය කරගැනීමට නම් ලක්වැසි සියලූදෙනා එකිනෙකා අවබෝධ කර ගත යුතුය. එය ආකල්පමය වශයෙන් පළමුව ද ක‍්‍රියාත්මක කිරීමෙන් දෙවනුව ද යථාර්ථයක් බවට පත්කර ගැනීමට තෛපොංගල් දිනයේදී සිතට ගැනීම වැදගත්ය.

ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේම සමගියෙන් අසමගිය දුරු වේ. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප සෞභාග්‍යය කරා ගමන් කළ යුත්තේ එකී පදනම මත පිහිටා සිටිමිනි. ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලූදෙනා එකට එක්විය යුතු අතර, එම ඉලක්කය වෙත ළඟා වනු පිණිස ශ‍්‍රී ලංකාව සිය මව්බිම ලෙස දකින්නැයි ලොව විවිධ රටවල වෙසෙන ශී‍්‍ර ලාංකික සහෝදර දෙමළ ජනතාවට මම ආරාධනය කරමි.

තෛපොංගල් දින වන්දනාවට පාත‍්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප‍්‍රභාමත් වේවා යි ප‍්‍රාර්ථනය කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2020 ජනවාරි මස 14 වන දින

පුවත්

Most popular