Presidential Secretariat of Sri Lanka

යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර

අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණි. ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් විය.

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බවත් ජාතික ණය ප්‍රමාණය ඉහල ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.

දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ තම අභිලාෂය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙහිදී සඳහන් කළේය. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම ක්ෂේත්‍රයේ නවීකරණය කිරීමයි. කාබනික පොහොර, ගුණාත්මක බීජ සහ දියුණු තාක්ෂණය හඳුන්වා දීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා පෙන්වා දුන්නේය.

නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යයි. එබැවින් ටින් කිරීම සහ නැවුම් නිෂ්පාදන වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපාහැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපතිතුමා කීය. තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි.

ජනාධිපතිතුමා සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතයෙන් නිපදවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝපා සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු කළේය. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට දොරගුලු විවර කරදීමේ අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීමේ තම අභිලාෂය පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඔන්ලයින් ක්‍රමයටඅධ්‍යාපනයෙහි නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාවක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය පණත් මේ වනවිට සංශෝධනය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස තම රටවලට මෙම ක්ෂේත්‍රයන්හි දී ශ්‍රී ලංකාවට සහාය වීමේ විවිධ ක්‍රම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

පුවත්

Most popular