Presidential Secretariat of Sri Lanka

ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දිනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාව සිදු කළ අතර, චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද ඉටු කළේය.

රුවන්වැලි සෑය පරිශ්‍රයේ ඇති දුටුගැමුණු මහරජුගේ සහ විහාරමහා දේවියගේ පිළිරුවට මල්දම් පැළඳවීම  ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාල වෙත ද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත විය.

‍මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පුණ්‍යකර්මය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබිණ.

රුවන්වැලි චෛත්‍යාධිකාරී පූජ්‍ය පල්ලේගේම හේමරතන, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤ්ඤානන්ද, මිහින්තලේ රජමහා විහරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන, අනුරාධපුර ලංකා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති, නෙල්ලිකුලම පංචසතික විහාරාධිපති පුජ්‍ය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමිවරු ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පවුලේ ඥාතීහු, මැති ඇමතිවරු සහ හිතවතුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (19) පස්වරුවේ අභයගිරි පූර්වාරාම මහා විහාරය වැඳ, විහාරාධිපති උතුරු මැද පළාත් සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට කැපවූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගනිමින් කළ මෙහෙවර ධම්මානන්ද හිමියන්ගේ ප්‍රශංසාවට ලක්විය.

ජාතිය ගලවා ගැනීමට පහළ වූ යුග පුරුෂයකු ලෙස ජනාධිපතිතුමා සිදුකරන මෙහෙයට සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින් හිමිවන බව උන්වහන්සේ සඳහන් කළහ.

විහාරස්ථානයේ අබලන්ව ඇති ගොඩනැගිල්ල ප්‍රත්සංස්කරණය කරදීමටත්, වසර 40කට ඉහතදී වන්දි ගෙවීමකින් තොරව පවරාගත් ඉඩමක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කුට්ටම්පොකුණ විහාරය වැඳ ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය ඉහළගම පවරකිත්ති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක යෙදිණි.

විහාරස්ථානයට  පැමිණ සිටි බැතිමතුන් සමගද ජනාධිපතිතුමා කතා බහක නිරත විය.

පුවත්

Most popular