Presidential Secretariat of Sri Lanka

රට වෙනුවෙන් ජනපති යන ගමන වෙනතක හරවන්න කිසිවෙකුටත් බැහැ – පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසි මග ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතක හැරවිය නොහැකි බව අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියෝ පවසති.

එකිනෙකාට බැන ගන්නා දේශපාලන වේදිකාව මත තම ප්‍රතිපත්ති ප්‍රකාශය නිවැරදිව, නොබියව ඉදිරිපත් කිරීමට හැකි වූ එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව ද උන්වහන්සේ පැවසූහ.

ජනාධිපතිතුමා අද (21) පෙරවරුවේ ඓතිහාසික ලංකාරාම විහාරස්ථානය වෙත ගොස්  විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන් බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ එසේ  සඳහන් කළහ.

ජනාධිපතිතුමාගේ ජීවන චරිතයෙන් තුණුරුවනට ගෞරව දක්වන ආකාරය මෙන්ම වෙනත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බව ධම්මජෝති හිමියෝ කීහ.

ගත වූ කෙටි කාලය තුළ නිවැරදි දිශාවකට රට මෙහෙයවූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයේ සහ ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ ධම්මජෝති හිමියෝ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූහ.

ලංකාරාම ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගත් ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත විය.

විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව ද ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ.

මේ අතර ජනාධිපතිතුමා අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

ජනාධිපතිතුමා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

විහාරස්ථානයේ පෞරාණික තොරතුරු සහ ඉදිරි සංවර්ධන කටයුතු ද එහිදී විමසා බැලිණි.

ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, විහාරාධිපති හිමියෝ විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

විහාරස්ථානය වැඳ පුදාගත් ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ ඇති ඓතිහාසික කෞතුකාගාරය, පොකුණු සහ   විහාර පරිශ්‍රය නැරඹීය.

ඉසුරුමුණිය රාජ මහා විහාරය වෙත වෙත පැමිණ සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

පුවත්

Most popular