Presidential Secretariat of Sri Lanka

රටේ ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට -ජනපති අනුරාධපුරයේ දී කියයි

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණ පාන පොහොර සහ ජල හිඟය ආදි ගැටලු නිරාකරණයට  රජය පියවර ගනිමින් සිටි. ගෙවීම් නොකිරීම නිසා පොහොර ආනයනය ප්‍රමාද වී තිබේ. අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොලැබීමෙන්  ගොවි ජනතාව අසරණව සිටිති. ගැටලු විසඳා ගොවි ජනතාව රැක ගන්නා බව ජනාධිපතිතුමා කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් අද (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ  කළ චාරිකාවේ දී  ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තලාව, තම්මැන්නාව නිදහස් උයන ග්‍රාමයේ චාරිකා කළ රාජපක්ෂ මැතිතුමා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් මුහුණපා සිටින ගැටළු විමසා බැලීය.

ඊරියගම වැව ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහි අඩු පාඩු සහ ජල සැපයුම පිළිබඳව සොයා බැලිණ. පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නේවාසික කළමණාකරුට උපදෙස් දුන්නේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කලාවැව, වැව් තාවුල්ලේ සංවිධාන කළ  ජනතා හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

ප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියාවේ වත්මන් තත්ත්වය සහ සහ කෘෂි කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා ජනතාවගෙන් තොරතුරු විමසීය.

වැව් තාවුල්ල අසළ පිහිටි කඩවර දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

කැකිරාව නගරයට පැමිණි ජනාධිපතිතුමා කුඹුක්සෙවණ ඉඩම ප්‍රදේශයේ පැවති ජනහමුවට සහභාගි විය. පොදුජන පෙරමුණේ අපේක්ෂක වීරසේන ගමගේ මහතා විසින් එය සංවිධාන කර තිබිණ.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු සහ ප්‍රදේශවාසී ජනතාව ද ඊට එක්ව සිටියහ. ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ගොවි ජනතාව මුහණ දී සිටින ජල සහ වෙනත් ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කළේය.

විවිධ ජන කොටස් නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාව  සංස්කෘතික ගැටලු පිළිබඳව ද  ජනාධිපතිතුමා දැනුවත් කළහ.

කැකිරාව වෙළෙඳ සංගමය විසින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනාවලියක් ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.

ඝනදෙවි කෝවිලේ අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා විමසා බැලීය.

පොදුජන පෙරමුණේ අපේක්ෂක ටී.එම්.ආර්. සිරිපාල මහතා  සංවිධාන කළ ජනහමුව මිහින්තලේ, ගල්කුලමේ දී පැවැත්විණ. ඊට සහභාගී වූ ජනාධිපතිතුමා  වැඩම කර සිටී මහා සංඝරත්නය  සහ ජනතාව සමග කෙටි පිළිසඳරක නිරත වූයේය. එහිදී ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කළේය.

මොහාන් කරුණාරත්න

පුවත්

Most popular