Presidential Secretariat of Sri Lanka
President Gotabaya Rajapaksa

කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීභාවය සහ ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී ජනපති කියයි.

  • රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය රකිනවා …
  • 19 වැනි සංශෝධනය ඉවතට …
  • “එක රටක් – එක නීතියක්” සංකල්පයට මුල් තැන දෙන නව ව්‍යවස්ථාවක්…
  • සියලු අමාත්‍යාංශවල සහ ආයතනවල නාස්තියට සහ දූෂණයට තිත …
  • මහජන නියෝජිතයන් නිරන්තරයෙන් ජනතාව අතරට …

කිසිදු බලවේගයකට යටත් නොවී දේශයේ ස්වෛරිත්වය සහ ජනතාව ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය විවෘත කරමින් කියා සිටී.

ගොඩනැගී ඇති දැඩි විශ්වාසය නිසා ජනතාව ඉමහත් උද්යෝගයකින් මෙවර මහ මැතිවරණයේදී රජයට සහය දුන්හ. එය තහවුරුවන පරිදි අඛණ්ඩව ජනතාවට සේවය කිරීම රජයේ අපේක්ෂාවයි. කුමන හේතුවක් නිසා හෝ ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටෙන අයුරින් ක්‍රියා නොකරන බවට ජනාධිපතිතුමා සපථ කරයි.

අභිනව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) පස්වරුවේ ආරම්භ විය. උත්සවය සාම්ප්‍රදායට මුල් තැන දෙමින් චාම් ලෙස සංවිධාන කොට තිබිණ. ආචාර පෙළපාලි, අශ්වාරෝහක සංදර්ශන වැනි අංග කිසිවක් ඊට අයත් නොවීය.

පාර්ලිමේන්තු සංකිර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා නව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ප්‍රධාන දොරටුව අභියසදී පාසල් ශිෂ්‍යාවෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමා පිළිගත්හ.

“අගෝස්තු 05 වැනිදා  මහ මැතිවරණය මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සටහන් කළ කඩඉමක්. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 2/3ක  ඓතිහාසික ජනවරමක් සමග ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට රජයට හැකි වුණා. එකී ජනවරම දුන් දේශප්‍රේමී ජනතාවට මගේ කෘතඥතාව පුද කර සිටිනවා.  රජය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු වන පරිදි අඛණ්ඩව ජනතාවට සේවය කිරීම රජයේ එකම අභිලාෂයයි”  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය කතාවේදී පැවසීය.

ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක වකවානුවකි.  කඩා වැටී තිබූ ආර්ථිකයක් භාරගත් රජයට මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ් 19 වසංගතයට මුහුණදෙන්නට සිදු විය. වසංගතය පැතිරයාම වැළැක්වීමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ලොව සියලු රටවල ප්‍රසාදයට ලක් විය. විවිධ බාධක හමුවේ මාස 09ක කාල පරාසය තුළ රට පාලනය කළ ආකාරය ගැන ජනතාව පැහැදීමෙන් සිටි බව ලැබූ අතිවිශාල ජනවරමෙන් සනාථ වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

උත්තරීතර ව්‍යවස්ථාවට අනුව සිය ධූර කාලය තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවට පොරොන්දු වී ඇතැයි කී ජනාධිපතිතුමා රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ගැනීමට නායක බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන් සමන්විත උපදේශක සභාවක් ස්ථාපනය කළ බව පෙන්වා දෙනු ලැබීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමටත්, බෞද්ධ උරුමය රැක ගැනීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාව අවබෝධ කරගෙන සිටී.

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටී තිබූ ජාතික  ආරක්ෂාව යළි සුරක්ෂිත කර, නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් යළි උදාකර තිබේ. එලෙසම තමා පොරොන්දු වූ ආකාරයටම පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන් ජනතාව මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීමත්, ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වූ බව ජනාධිපතිතුමා පැවසීය.

රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් කිරීමට රජය ක්‍රියාකරමින් සිටී. එහි එක් පියවරක් ලෙස රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී පැවති සාම්ප්‍රදාය වෙනස්කරමින් විද්වත් මණ්ඩලයක නිර්දේශයට අනුව පත්වීම් සිදු කෙරිණ.

එලෙසම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට පියවර ගෙන තිබේ. රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලැබිණ. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ආනයනය සීමා කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගේ මූලික වගකීම ජනතා සේවය බව  අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා  සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බවත් එය මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට සංවේදී විය යුතු යැයි කියා සිටියේය.

නිදහසින් වසර 72කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවන්ට විසඳුම් ලැබී නැති බව මැතිවරණ කාලසීමාවේදී  රට පුරා කළ චාරිකාවේදී තමන් අවබෝධ විනැයි රාජපක්ෂ මැතිතුමා කීය. වසර ගණනක් තමන් ජීවත්වූ ඉඩම්වල නිසි අයිතිය, පානීය ජල ගැටළුව, අලි මිනිස් ගැටුම, සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන දැනුම සහ ග්‍රාමීය රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රැකියා වියුක්තිය නැති කිරීමට දිගු සහ කෙටි කාලීන විසඳුම් දෙන අතර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ අපනයන ආදායම වැඩි කිරීම රජයේ මූලික ඉලක්කයයි. කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට ද  අපේක්ෂා කෙරේ.

“කාර්යක්ෂම සහ කඩිනම් රාජ්‍ය සේවාවක් ස්ථාපනය කිරීම පියවර ගැනේ. සියලු අමාත්‍යාංශවල හා ආයතනවල නාස්තිය සහ දුෂණ සම්පූර්ණයෙන් නතර කිරීමට ක්‍රියා කරනු ඇත”  ජනාධිපතිතුමා කියා සිටියේය. නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේයැයි ද ජනාධිපතිතුමා පැවසීය. යම්කිසි අමාත්‍යාංශයක් ඉලක්ක සපුරා ගැනීමට අසමත් වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට  කිසිවිටෙකත් පැකිළෙන්නේ නැති බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් දීමට ක්‍රියාකරනු ඇතැයි එතුමා සඳහන් කළේය.

ව්‍යවස්ථා වෙනසක් සඳහා රජය ඉල්ලූ ජනවරම ජනතාව දී තිබේ. ඒ නිසා පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදිම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බව ජනාධිපතිතුමා පැවසීය. “එක රටක් – එක නීතියක්” යන සංකල්පයට ප්‍රමුඛත්වය දෙමින් සියලුදෙනා සමග එක්ව රටට  යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටියේය.

“මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තියෙනවා. අපේ අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජිවත්වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම” යැයි සඳහන් කළ ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා තමා සමග එකතුවන ලෙස සියලුදෙනාට මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කළේය.

 

පුවත්

Most popular