Presidential Secretariat of Sri Lanka

ඉඩම් අහිමිවූවන්ට ඉඩම් දී වහාම මට දන්වන්න

  • ඉඩම් ගැටළුව විසඳන්න සියලු නිලධාරීන් එක් ස්ථානයකට …
  • කිරි ගොවීන්ගේ ප්‍රශ්න ගැන විශේෂ අවධානය …
  • විල්ගමුවට වකුගඩු – රුධිර කාන්දුකරණ ඒකකයක් …
  • ගුරු – හෙද හිගයට පිළියම් …

හිඹිලියාකඩ “ගම සමග පිළිසඳරේ දී” ජනපතිගෙන් උපදෙස්.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පෙරවරුවේ පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” දෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න පසුගිය සතියේ සිකුරාදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට ගම්මානයේ දී පැවැත්විණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහකර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වේ. දිවයිනේ අතිදුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණගැසීම රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මූන් ජනාධිපතිතුමා හමුවී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නාගවනාරාම විහාරස්ථානයට පැමිණ සිටියහ.

රැස්ව සිටී බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටළු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනමි විසදුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරිමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු යැයි සඳහන් කළේය. අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි.

කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. ඔවුන් මුහුණ පා සිටින ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොල වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගනය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමගින් විශාල සහනයක් හිමිවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට වහාම පියවර ගැනීමට ද තීරණය කෙරිණ.

වෙහෙරගල සිට හෙට්ටිපොල නගරයට ඇති කි.මි 2.8ක සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ග කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පංතිකාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක්, ගුරු නිවසක් ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම සහ විල්ගමුව නාමිණිඔය මහා විද්‍යාල සියලු පහසුකම් සහිත ජාතික පාසල් බවට පත්කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාසල් අධ්‍යාපනය අවසන් කළ ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ඇතිකර වැඩි වශයෙන් ඔවුන් ඊට යොමු කර පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම කාලීන අවශ්‍යතාව බව ජනාධිපතිතුමා පැවසීය. ඊට එක්වන ලෙස ද ජනාධිපතිතුමා තරුණයින් දිරිමත් කළේය.

වාරි පහසුකම් නොතිබීම  විල්ගමුව සහ අවට ප්‍රදේශ රැසක කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ. ඊට විසඳුම් ලෙස වත්තේගෙදර, වෙහෙරගල, දොඩම්ගොල්ල සහ වැරැව්ගහ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව විසඳුම් ලැබෙන පරිදි දෙවසරක් තුළ වැව් සංවර්ධනයටත් එතෙක් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වගා ලිං ජලය සැපයීමටත් නිසි පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

හිඹිලියාකඩ වැවේ කඩිනම් ප්‍රතිසංස්කරණ යුද හමුදාවට පවරනු ලැබීය.

“ගම සමග පිළිසඳර” වැඩසටහනින් පසු ගමේ නිවාස සහ ගොවිබිම් කිහිපයක්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular