Presidential Secretariat of Sri Lanka

ශෝක පණිවුඩය

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිර නාහිමිපාණන් වහන්සේ අපවත් වීම පිළිබඳ පුවතින් මම ඉමහත් සංවේගයට පත්වීමි. උන්වහන්සේ අපවත් වීම රටවාසී ලෝවාසී බොදුනු ජනතාවට ද බලවත් ශෝකය දනවන්නකි.

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ දේශනාව අර්ථවත් කළ මහා සංඝ පීතෘ වරයෙකි. උන්වහන්සේ ස්වකීය උතුම් පැවිදි ජීවිතය කරුණා පෙරදැරිව ජනතා සුභ සෙතට කැප කළහ. ගුණ ගරුක සමාජයක් දකිනු වස් ගම් දනව්වල වැඩම කරමින් දහම් චාරිකාවේ නියැලුණු අප නාහිමිපාණන් වහන්සේ හුදී දනන්ගේ ආධ්‍යාත්මික සුවය සැලසූ අතර ඔවුන්ගේ සාමාජයීය ගැටළු ද හඳුනා ගෙන ඊට ද පිළියම් සෙවීමට කැප වූහ.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප මහා නායක ස්වාමීන් වහන්සේ කළ අපරිමිත කැප කිරීම දෙස් විදෙස්හි ගෞරවාදරයට සහ සම්මානයට පාත‍්‍ර විය. ලෝකයේ කීර්තිධර මහ තෙරුන් වහන්සේට බුරුම රජය පිරිනමන ” අග්ගමහා පණ්ඩිත” ගෞරව සම්මානයෙන් ද අප නාහිමිපාණන් වහන්සේ පිදුම් ලැබූහ. ඒ සියල්ල මෙත් සිතින් දරා ගත් අප නාහිමිපාණන් වහන්සේ අල්පේච්ඡ ජීවිතයම අර්ථවත් කළහ.

ආගමික හා ශාසනික වශයෙන් වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන් වහන්සේගේ සමීප ඇසුරින් ලැබූ අනුශාසනා ඉවහල් වූ බව මේ මොහොතේ සිහිපත් කරන්නේ කෘතවේදීවය.

රට ජාතිය ආගම වෙනුවෙන් මහඟු මෙහෙයක් කළ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2020.11.19

පුවත්

Most popular