Presidential Secretariat of Sri Lanka

දේශීය අධිකරණයේ නව කඩඉමක් – උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් – ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

  • ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක් ….
  • අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් ….
  • අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් …

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට ජනපති සහතික වෙයි.

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.

ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,

  • ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
  • කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
  • ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
  • ජනක් ද සිල්වා මහතා
  • ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
  • මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා

අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,

  • මේනකා විජේසුන්දර මහත්මිය
  • ඩී.එන්. සමරකෝන් මහතා
  • එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
  • එම්.ටී.එම්. ලෆාර් මහතා
  • සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
  • සම්පත් බී. අභයකොන් මහතා
  • එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
  • එස්.යූ.බී. කරලියද්ද මහතා
  • ආර්. ගුරුසිංහ මහතා
  • ජි.ඒ.ඩී. ගනේපොල මහතා
  • කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
  • මායාදුන්න කොරයා මහතා
  • ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
  • ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සභාව අමතමින් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවැතිණ. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අතීතයේ දී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණ ද වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක් බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. නීතියේ ප්‍රමාදයන් නිරන්තර ගැටළුවලට පාදක වූ හේතු අතරින් එකකි.

“යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි”  යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණ ධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සදහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව පැවසීය.

යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්‍රගමනයට ද අතිශය වැදගත්ය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශක්තිමත්, කාර්යක්ෂම සහ ස්වාධීන යුක්තිය පසිඳලීමේ පද්ධතියක ඇති වැදගත්කම රජය මනාව අවබෝධකරගෙන සිටී. එහි ධාරිතාව ඉහල නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද ගැඹුරින් වටහගෙන ඇත.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමටනම් එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්තවිය යුතු බව ද ජනාධිපතිතුමා විසින් සදහන් කරනු ලැබිණ.

අගවිනිසුරු ජයන්ත සී. ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular