Presidential Secretariat of Sri Lanka

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

  • “ගම සමග පිළිසඳරේදී” හඳුනාගත්, ගැටළු නිරාකරණය කළ ඔප්පු 17,000 කටජනපති අත්සන් තබයි ….
  • ග්‍රාමීය ගැටළු විසඳීමේ දී මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව
    එක්ව වැඩ කළයුතුයි …
  • ඉංග්‍රීසි ගුරු හිඟය පියවීම පාසල් පදනම් කර ගනිමින් …
  • දශක හතක ජනතා සිහින සැබෑ කරමින් කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය ඇරඹේ …

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසේ. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹිණ.

ගැටළු නිරාකරණය කොට අවසන් වරට සැකසූ ඔප්පු 17,000කට තමා ඊයේ වන විට අත්සන් තබා ඇතැයි රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (30) පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගී වීමට තණමල්විල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා කොටවෙහෙර මංකඩ මහා විද්‍යාල භූමියට රැස්ව සිටී පාසල් සිසුන් හා ගම්මුන් සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු විමසා බැලීය.

සිසුන්ගේ ඉල්ලීම පරිදි කොටවෙහෙර මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය සංවර්ධනය හෙට (31) සිටම ආරම්භ කිරීමට ජනාධිපතිතුමා යුද හමුදාවට උපදෙස් දුන්නේය. විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකරදීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

මොණරාගල නගරයේ සිට කි.මි 100ක් පමණ දුරින් වූ අලුත්වැව “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහන සඳහා තෝරාගෙන තිබිණ. අලුත්වැව ගම්මානය කොටවෙහෙර මංකඩ, වැල්ලවාය, හම්බෙගමුව, වලවේ ගඟ, කණ්ඩියපිට වැව යන ග්‍රාමයන්ට මායිම්ව පිහිටා තිබේ. දලුක්ගල, කොරටුවැව, කිලිම්බුන්න, මිල්ලගල, දහයියාගල, නෑබඩපැලැස්ස සහ පොකුණුතැන්න අලුත්වැව ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 790කින් සමන්විත අලුත්වැව ගම්මානයේ ජනගහනය 2794කි. උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව දඩයම් කිරීම සහ හේන් ගොවිතැන සඳහා සංක්‍රමණය වීමෙන් 20 වැනි ශතවර්ෂය මුල් භාගයේ අලුත්වැව ජනාවාසයක් බවට පත්ව තිබේ. වී සහ හේන් ගොවිතැන ගම්මානයේ බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

ග්‍රාමීය ගැටළු විසඳීමේ දී ජනතාවගේ අදහස් සහ යෝජනාවන්ට ප්‍රමුඛතාව ලැබේ. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ග්‍රාමීය ජනතාව එක්ව ගම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දිවයිනේ පාසල් රැසක ඉංග්‍රීසි ගුරු හිඟය පවතින බව අනාවරණය වී තිබේ. ඊට පිළියම් ලෙස අදාළ පාසල්වලට ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ වගකීම ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාම්මිල් මහතා වෙත පවරනු ලැබීය.

සෙවණගල, ඔක්කම්පිටිය, හම්බෙගමුව සහ කොටවෙහෙර මංකඩ විද්‍යාල ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමටත්, අලුත්වැව සහ අවට ගම්මානවල ආබාධ සහිත සිසුන් සඳහා නිසි පහසුකම් සහිත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමටත් තීරණය කෙරිණ.

දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ගුරු හිඟය පියවීමටත්, ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අලුත්වැව, කිලිම්බුන්න, කළුතොට කොටවෙහෙර මංකඩ සහ අලුත්වැව දක්වා මාර්ග සහ ප්‍රදේශයේ අතුරු මාර්ග සහ කෘෂි ඉඩම් මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමට ද රාජපක්ෂ මැතිතුමා විසින් නියම කෙරිණ.

අලුත්වැව සහ අවට ගම්මානවල පානීය ජල අවශ්‍යතාව සහ එය කඩිනමින් විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. 1952 වසරේ දී යෝජනා කරන ලදුව මෙතෙක් ක්‍රියාත්මක කර නැති කුඹුක්කන් ඔය ව්‍යාපෘතියේ සැලසුම් වහා අවසන් කර මේ වසරේම වැඩ ආරම්භ කොට කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සම්පූර්ණ කරන්නැයි ජනාධිපතිතුමා ජල සම්පාදන අමාත්‍යාංශයට නියෝග කළේය.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කරනු පිණිස වෙහෙරගල වැව ව්‍යාපෘතිය සහ සෙවනගල පිරිපහදුව විධිමත්ව ක්‍රියාවට නැංවීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ ස්වභාවික ජල මූලාශ්‍ර නිසි පරිදි හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සපුරාලීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

RO Plant සහ නළ ජලය මගින් අලුත්වැව ඇතුළු ගම්මාන රැසක පානීය ජල අවශ්‍යතාව සම්පාදනයට ද පියවර ගන්නා ලදී.

සිය වගා කටයුතු සඳහා කුකුල්කටුව වැව ඇතුළු වැව් 10ක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීම කඩිනමින් ඉටුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය

ගම්මුන්ගේ ඉල්ලීම මත හම්බෙගමුව රෝහලට ළමා හා මාතෘ සායනයක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා ජනාධිපතිතුමා සමග එකගතාව පළ කළේය. මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සායන මසකට වරක් හෝ තණමල්විල සහ මොණාරාගල ප්‍රදේශ ආවරණය වන පරිදි සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

හම්බෙගමුව ප්‍රාදේශීය රෝහල, මොණරාගල, තණමල්විල සහ වැල්ලවාය රෝහල්වල පවතින වෛද්‍ය හා හෙද, හිඟයට පිළියම් යෙදීමට සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට ද අවධානය යොමු විය.

මීට වසර කිහිපයකට පෙර ඉදිකර අක්‍රීයව පවතින දිස්ත්‍රීක්කයේ සියලු අලි වැට යාවත්කාලීන කිරිමට තිරණය කෙරිණ. බෝදාගම වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් පිළිබඳ කඩිනම් ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කර ඉදිරි පියවර ගන්නා ලෙසත්, කිසිදු වැව් රක්ෂිතයක අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොතබන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කෘෂිකාර්මික කටයුතුවලදී ප්‍රමිතියෙන් තොර වල් නාශක භාවිතය පිළිබදව වහා සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එවැනි අයථා ක්‍රියාවන්හි නිරත වන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බව ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටල් ආයතනය අලුත්වැව කණිෂ්ඨ හා සෙවණගල මහානාග මහ විද්‍යාලවල “සුහුරු පන්ති කාමර” සඳහා පරිත්‍යාග කළ පරිගණක හා සන්නිවේදන උපකරණ කට්ටල හා ඩයලොග් ආයතනයෙන් පිරිනැමුණු පරිගණක සහ රූපවාහිනී යන්ත්‍ර රතඹලාගල කණිෂ්ඨ හා හම්බෙගමුව මහා විද්‍යාලවල විදුහල්පතිවරුන් වෙත බාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය වෙතින් පුහුණුව ලැබූ තිදෙනෙකුට පත්වීම් ප්‍රදානය වැඩසටහනට සමගාමීව සිදු විය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, දයශාන් නවනන්දන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී. ජයසේන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

පුවත්

Most popular