Presidential Secretariat of Sri Lanka

ජනතා ගැටළු විසඳීම දේශපාලන නාට්‍ය හෝ මාධ්‍ය සංදර්ශණයක් නොවෙයි …

ජනතාව අතරට නොගොස් නිලධාරීන් මගින් පමණක් ගැටළු හඳුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි….

 – දික්ඇල්ලකන්ද “ගම සමග පිළිසඳරේ දී ජනපති කියයි

  • ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන වැරදි කරන්නන්ට
    ඉඩක් නැහැ …
  • වැඩකර ජනතාව අතරට යන්න – තරුණ මහජන නියෝජිතයන්ට
    උපදෙස් …
  • ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රකින්න බැහැ ….
  • මාළිබොඩ නගරයට විධිමත් සැලැස්මක් සහ නිවාස ව්‍යාපෘතියක් …

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබේ. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවර ඉටුකරන්න. විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැත. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි. කවරකු මේ ක්‍රමය විවේචනය කළ ද  “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපති වුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් විය හැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙස ජනාධිපතිතුමා තරුණ මහජන නියෝජිතයින්ට උපදෙස් දෙයි.

අද (06) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට දීමට තීරණය කෙරිණ. එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතයට හානිවන අයුරින් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ස්වභාවධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතුය. ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකිය නොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිතුමා පැවසීය.

පුවත්

Most popular