Presidential Secretariat of Sri Lanka

ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා … යට නොවී ඉන්න පිළිවන් අපි නිදහස් රටක්

  • ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා …
  • හිටපුආණ්ඩුවේ ප්රමබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් …
  • පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා …
  • සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය නිවැරදි කරන්න බැහැ ….

 ජනපති “ගම සමග පිළිසඳරේදී කියයි.

“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලුනිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි එතුමා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීමයි. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරිණ. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්  පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබේ. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන ඇත. සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනු ලැබේ.  මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්ය.

මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.

අද (27) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ආරම්භයේ දී රැස්ව සිටී පිරිස අමතා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.  අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ .

MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය.අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය මෙන් බව සඳහන් කළේය. පදනම් විරහිත චෝදනා ගැන කතා කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවූවත්, සත්‍යය පහදා දෙනු පිණිස ඔවුනට උත්තරදීමට සිදුව ඇතැයි ජනාධිපතිතුමා කීය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

පිටබැද්දර නගරයේ සිට කි.මි 12ක් දුරින් කිරිවැල්කැලේ උතුර 03 වන පියවර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. 1958 දී ස්ථාපනය කළ උස්බිම් ජනපද ව්‍යාපාරය යටතේ ජනතාව පදිංචි කරවීමෙන්  කිරිවැල්කැලේ ග්‍රාමයක් බවට පත් විය. පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානය මෙයයි.  පවුල් 622ක් වෙසෙන ග්‍රාමසේවා වසමේ ජනගහණය 2990කි. මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගෙන් වැඩිම පිරිස මෙහි ජිවත් වෙති.  ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව වන අතර කුරුඳු, රබර්, ගම්මිරිස්, පොල් වැනි අතුරු භෝග වගාවන් ද සිදු කෙරේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට පිටබැද්දර, දෙහිගස්පෙ  ඩඩ්ලි සේනානායක මහා විද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට දෑරංගල මහා විද්‍යාලය දක්වා යන අතර,මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සහ දෑරංගල කණිෂ්ඨ විද්‍යාලය අසල රැස්ව සිටී සිසු දරු දැරියන් සහ දෙමාපියන් සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල්ආයතනය දෑරංගල මහා විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, බානගල සීලරතන කණිෂ්ඨ විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය  පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ගංවතුරෙන් විනාශ වූ පහුරුතොට, ජම්බුගස්දොල, මෙඩේරිපිටිය සහ වෙලංගාවිට ඇතුළු  පාලම් කඩිනමින් සංවර්ධනයට “ගම සමග පිළිසඳර” සංවාදයේ දී තීරණය කෙරිණ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනවසර ඉඩම් පරිහරණය නිරාකරණයට සහ වැවිලි සමාගම් යටතේ ඇති විශාල ඉඩම් ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරව මැනීම් කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

පිටබැද්දර ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම ඉඩම් ගැටළු විසඳීම සඳහා “ඉඩම් දිනයක්” පැවැත්වීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ මාර්ගවල ඇති අනාරක්ෂිත බෑවුම් හඳුනාගෙන ආරක්ෂිත වැට ඉදිකිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරන ලදී.

දෑරංගල, පොඩිදහයකන්ද බස්නැවතුම්පොළ අසළ සිට ඉදිරියට මාර්ගය, බානගල නැගෙනහිර මාහේන ඇල්ල මාර්ගය, බානගල නැගෙනහිර නාගහහේන 517 මාර්ගය ඇතුළු මාර්ග කි.මි 120ක් පමණ ඉදිරි මාස කිහිපය තුළ සංවර්ධනය කර නිම කිරීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගොවීහූ කුරුඳු අස්වනු අලෙවියේ දී තමන් මුහුණපාන ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. A ශ්‍රේණියේ කුරුඳු B ශ්‍රේණිය සේ සලකා මිලදී ගැනීමෙන් වන අසාධාරණය නතර කිරීමට නිසි ක්‍රමවේදයක් සහ අධීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කුරුඳු ගොවි සමිති සතු තවාන් සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් කුරුඳු පැළ බෙදාදීමට වැවිලි අමාත්‍යාංශයට නියම කෙරිණ.

ප්‍රදේශයේ කුඩා තේ වතු වගාව වසර 35කට අධික ඉතිහාසයක් සහිතය. නැවත තේ වගා කර අස්වනු නෙළීමට වසර 02කට වැඩි කාලයක් ගත වේ. එසේ ආදායම අහිමිවන දෙවසර සඳහා වාර්ෂික දීමනාවක් හෝ ප්‍රදානය කර තේ නැවත වගාව කඩිනම් කිරීමේ  අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තලපෙකුඹුර කණිෂ්ඨ විද්‍යාලය, දෑරංගල මහා විද්‍යාලය, සියඹලාගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලය, කලුබෝවිටියාව මහ විද්‍යාලය ඇතුළු පාසල්වල ගුරු හිඟය තුරන් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ අලපලාදෙනිය ද්විතීයික පාසලට ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා පියවර ගන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ග්‍රාම සේවා නිලධාරී වසම් 60ක් ආවරණය කෙරෙන පරිදි මොරවක පානීය ජල ව්‍යාපෘතියක් සහ කුඩා ප්‍රජා ජල ඒකක රැසක් ස්ථානය කිරීමට උපදෙස් දෙනු ලැබිණ.

දෑරංගල සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර යටිතල පහසුකම් සංවර්ධනයට හා ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවතින සේවක පුරප්පාඩු පියවීම ඇතුළු ජනතා ගැටළු රැසකට කඩිනම් විසඳුම් දීමට ද ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුන රණවක, වීරසුමන වීරසිංහ, කරුණා කොඩිතුවක්කු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

පුවත්

Most popular