Presidential Secretariat of Sri Lanka

චීනයෙන් ශ්‍රී ලංකාවට, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක තවත් පරිත්‍යාගයක්…

චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය.

චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එන්නත් නිල වශයෙන් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. මෙම එන්නත්වලට අමතරව සිලින්ජර තොගයක් ද පරිත්‍යාග කර තිබේ.

මෙම එන්නත් උතුරු – නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30ට වැඩි ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිණ. මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී භාවිත එන්නත්වලින් 72%ක් සයිනොෆාම් වේ.

පසුගිය මාර්තු 31 වන දින සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක්, මැයි 26 වන දින ලක්ෂ 5ක් සහ අද දින ලද මාත්‍රා ලක්ෂ 16ත් සමග සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිතුමා සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි සඳහන් කළේය. එම නිසා චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ලූ චොන්ග් (Luo Chong) යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular