Presidential Secretariat of Sri Lanka

ර‍ටේ ඉදිරි 25 වසර සඳහා නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව

  • ජනපති උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසක්

රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබේ.

“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 වනදා පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.

නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ. පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතය.

කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ පෙබරවාරි මස 04 වන දින උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ. හින්දු ආගමික වතාවත් පෙබරවාරි 03වන දින උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ. මුස්ලිම් ආගමික වතාවත් පෙබරවාරි 04 වන දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ අතර කොළඹ දී ද බෞද්ධ හා හින්දු ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙන අතර, ඒ අනුව පෙබරවාරි 04 වනදා ‍පෙ.ව 6.30ට කොළඹ 03, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වැඩසටහනක් ද, කොළඹ 04 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේ පැවැත්වීමටත්, කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වීමටත්, පාකිස්ථානයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජූලි මාසයේ දකුණු පළාතේ දී පැවැත්වීමටත් මීට සමගාමීව කටයුතු සංවිධාන කර තිබේ.

මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා” රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 03 වනදා ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වේ.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය පෙබරවාරි 11 වනදා උදෑසන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිටින් ඇරඹෙන සංස්කෘතික පෙරහර යාපනය නගරය හරහා වීදි සංචාරය කොට, යාපනය කොටුව අසළින් (පැරණි බස් නැවතුම්පොළ භූමිය) අවසන් කෙරේ. අනතුරුව එහිදී සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අතර එදින රාත්‍රියේ එම ස්ථානයේම විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලු නර්ථන සම්ප්‍රදායන් එක් රැස් කරමින් වීදි සරන ජනරජ පෙරහර පෙබරවාරි 19 වනදා රාත්‍රියේ මහනුවර නගරයේ දී ශ්‍රී දළදා මාළිගාවේ පූර්ණ දායකත්වය සහිතව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

නිදහස සම්බන්ධ විනාඩි 30ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර සියලු සිනමාහල්වල හා රංග ශාලාවල ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇති අතර තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් “නිදහස” තේමාව කරගත් කෙටි නාට්‍ය, දේශාභිමාන ගීත, චිත්‍ර තරග ඇතුළු නිර්මාණ තරගාවලියක් මැයි මාසයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

මෙරට අභිමානය විදාහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්.එස්. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මෙරට ඓතිහාසිකත්වය පිළිඹිබු කෙරෙන කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 04 වනදා සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වීමට නියමිතය.

නිදහස පිළිබඳ පුවත්පත් වාර්තා හා වෙනත් ලිපි ඇතුළත් ග්‍රන්ථයක් ද නිදහස් දින ජාතික උත්සවයේ දී එළිදැක්වීමට නියමිත අතර 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් විශේෂ මුද්දරයක් සහ නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා, නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මැතිතුමා හා නිදහස් පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍ය මොහොමඩ් අලිජින්නා මැතිතුමාගේ සේයා රූ ඇතුළත් දුර්ලභ ගණයේ විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතය. එමෙන්ම රුපියල් 1000ක වටිනාකමකින් යුත් විශේෂ සමරු කාසියක් ද නිකුත් කෙරේ.

ජනවාරි 01දා සිට ක්‍රියාවට නංවන ලද “නාගරික වනාන්තර” සංකල්පය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පැවැත්වෙන නිදහස් දින සැමරුම් පාපැදි සවාරිය ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 01වනදා දක්වා පැවැත්වේ.

මීට අමතරව පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් නිදහස් දින සමරු උත්සව පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙන අතර මහජන උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ජාතික උද්‍යාන සහ ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සතු ජාතික උද්‍යාන ජාතික නිදහස් දිනයේ දී මහජනතාව සඳහා නොමිලේ විවෘත කෙරේ.

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02ක් සඳහා මසකට එක් පවුලකට කිලෝ 10 බැගින් මාස 02ක කාලයක් සහල් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවිමට නියමිත අතර දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමත් සමග ඇරඹෙන රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන්මඟ 2048 වසර් 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන අතර ඉදිරි වසර 25 සඳහා වූ සැලැස්ම ද මෙම ජාතික නිදහස් දිනයට සමගාමීව ක්‍රියාවට නැංවේ.

ඒ අනුව නව ආයතන සහ නීති කිහිපයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා ඉතිහාසය පිළිබඳ ආයතනයක්, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනයක්, කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කෙරේ.

රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය, කෘෂි පර්යේෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් අපේක්ෂිතය.

කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රි පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, ළමා ආරක්ෂණ පනත, දේශගුණික විපර්යාස පිළිබඳ පනත, සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත, වනාන්තර ප්‍රතිරෝපණ සහ වෘක්ෂ ආවරණ පනත හඳුන්වාදීමට නියමිතය.

මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය (ජන ශුන්‍ය ශිඛරය), හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම ඇතුළු ස්වභාවික සම්පත්වල ආරක්ෂාව ‍හා සුරක්ෂිතතාව වෙනුවෙන් ජීවමාන අස්ථිත්ව පනත හඳුන්වාදීමට නියමිතව තිබේ. සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නව නීති මෙන්ම මුතුරාජවෙල සංරක්ෂණය වෙනුවෙන් වූ පනතක් ද හඳුන්වාදිමට නියමිතය.

නාගරික වනාන්තර 75ක ව්‍යාපෘතියක් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොළඹින් නිවාස 1996ක ව්‍යාපෘතියක් ද මීට ඇතුළත් අතර ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

පුවත්

Most popular