Presidential Secretariat of Sri Lanka

තරගකාරී ආර්ථිකයක් සඳහා නූතන ප්‍රවණතාවන්ට ගැළපෙන නව නීති සම්පාදනය කළ යුතුයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

  • රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ව්‍යාපාරික ප්‍රජාවේ ඇගයුමට ලක්වෙයි

තරගකාරී ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා ඉඩම් නීති, කම්කරු නීති, ප්‍රාග්ධන නීති සහ තාක්ෂණය ආශ්‍රිත නීති පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකළ යුතු බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා අවධාරණය කළේය.

ඒ සඳහා වන නව නීති කෙටුම්පත් මාලාවක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අවධානය යොමු කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ දී පැවැත්වුණු 2023/2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

කම්කරු අමාත්‍යාංශය විසින් සේවා යෝජකයා හා සේවා දායකයා යන දෙපාර්ශ්වයම මතු කරන කරුණු සැළකිල්ලට ගෙන සේවා නියුක්තිය පිළිබඳ වත්මන් ප්‍රවණතාවලට ගැළපෙන නව ඒකාබද්ධ නීතියක් සකස් කර ඇති බවත්, පැය 08ක සේවා මුරය යන සාම්ප්‍රදායක සංකල්පය වෙනුවට වර්තමාන රැකියා වෙළෙඳපොළට ගැළපෙන නම්‍යශීලි විධිවිධාන එමඟින් හඳුන්වාදී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රජය විසින් යෝජිත නීති සම්පාදනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය අනුමත කර ගනු ඇති බවට ද ආචාර්ය සමරතුංග මහතා විශ්වාසය පළ කළේය.
ආර්ථික සංවර්ධනයේදී ස්ත්‍රී පුර්ෂ සමානාත්මතාවයේ වැදගත්කම පැහැදිළි කළ සමරතුංග මහතා ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් ප්‍රවර්ධනය කිරීමට නව කම්කරු නීතිවල අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

තවද ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය කැප වී සිටින බවද ඔහු පැවසීය. ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ හඳුනා ගනිමින් සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණය හඳුන්වා දීමට සහ එය අදාළ අංශ සමඟ ඒකාබද්ධ කිරීම සඳහා කඩිනම් හා ඵලදායී වැඩපිළිවෙළක් රජය ක්‍රියාවට නංවා තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඉඩම්, ශ්‍රම, ප්‍රාග්ධන සහ තාක්ෂණය ආශ්‍රිත නීතිවල යෝජිත ප්‍රතිංස්කරණ මඟින්, වෙනස් වන ආර්ථික අභියෝග හමුවේ තරගකාරීත්වයට මුහුණදීමට සහ ඒ සමග ඉදිරියට යාමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළ සමරතුංග මහතා මේ හරහා රටේ ඉදිරි ගමනේදී සියලුදෙනාට සංවර්ධනය ළඟා කර දෙන ආර්ථිකයක් ගොඩනැඟෙනු ඇති බව ද සඳහන් කළේය‍ෙ
2023/2024 ජාතික නීතිඥ සමුළුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූලික අවශ්‍යතා සහ ඊට අදාළ නීති ප්‍රජාවේ භූමිකාව සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබූ අතර ඒ හරහා නීති වෘත්තිකයන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට එක්ව කටයුතු කරමින් ජාතියේ සංවර්ධනයට දායක වීමට අවස්ථාව සලසා දී තිබිණි.

ජාතික අවශ්‍යතාවයක් ලෙස ස්වාධීන අධිකරණයක වැදගත්කම පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුවේ අරමුණ වූයේ සම්මුති ගොඩනැඟීම, හවුල්කාරීත්වයන් ගොඩනැඟීම සහ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමයි.

2023/24 ජාතික නීතිඥ සමුළුව 2023 ජූනි 02- 04 දක්වා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි. සමුළුවේ දෙවැනි සැසියයේදී ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳ ආංශික අදහස් දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රාජව වෙතින් ලබා ගනු ලැබීය.

මෙහිදී මෙවැනි සමුළුවක් සංවිධානය කිරිම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ නිතී ක්ෂේත්‍ර යේ පිරිස ව්‍යාපාරික ප්‍රජාව වෙතින් පැසසුමට ලක්වූ අතර, රට අර්බූදයෙන් ගොඩනැගීමට රජය දරණ අවංක උත්සාහය ද අගය කෙරිණ.

එම කර්තව්‍යයේදී තමන්ට හැකි උපරිම දායකත්ව හා සහයෝගය ලබාදෙන බවට ද ව්‍යාපාරික ප්‍රජාව සහතික වූහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරුවේ කේ.එල්. ගේට්ස් ස්ට්‍රේට්ස් නීති සමාගමේ සභාපති එම්. රාජාරාම් මහතා

මෙම සමුළුවේදී ජනාධිපතිවරයා කළ කථාව පිළිබඳ මා වඩාත් පැහැදුණා. ඒ තුළ ඉතා අවංක අදහස් මා දුටුවා. එම කථාවේ තිබූ මූලික හරය අනුව සියළු දෙනා කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ආයෝජන සඳහා අතිශය ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ දැන් කතාබහට ලක්වෙනවා. මට ඒ පිළිබඳ සිංගප්පුරුවේදී පවා අහන්න ලැබුණා. ඒ වගේම රාජකාරී කටයුතු සඳහා මම ඉන්දියාව, එක්සත් රාජධනිය, එක්සත් ජනපදයට ගමන් කරන විට ද ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ආහන්න ලැබී තිබෙනවා.

Gibson,Dunn and Crutcher LLP (Singapore); ජායි එස් පතක් මහතා

ශ්‍රී ලංකාව සාර්ථකත්වය කරා යන ගමනේදී බොහෝ බාධක හමුවිය හැකියි. නමුත් දේශපාලනික අධිෂ්ඨානයට එය ජය ගත හැකියි. මෙම සුන්දර දිවයිනේ සහ එහි මිනිසුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අපට උපකාර කළ හැකි නම් මම වඩාත් සතුටු වෙනවා.

CHEC Port City Colombo (Pvt) Ltd; නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ

මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා පෝට් සිටි මූල්‍ය මධ්‍යස්ථානය සතුව ප්‍රගතිශීලී රෙගුලාසි ඇති බවට ආයෝජකයන් තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් ඊට රටේ ඉහළම බලධාරියා වන විධායකය මැදිහත් විය යුතු වෙනවා. එනිසා මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නම් ජනාධිපතිවරයා ඊට නායකත්වය ලබා දිය යුතුයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් නීති ප්‍රධානී සහ ලේකම් නදීජා තම්බයියා මහත්මිය

ජෝන් කීල්ස් වසර 150ක් පැරණි ශ්‍රී ලාංකික ආයතනයක්. අපි ව්‍යාපාරික අංශ 7ක ක්‍රියාත්මක වෙනවා. ජෝන් කීල්ස් සමඟ ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආයෝජනයක් ලෙස සැලකෙනවා. සෑම පසුබෑමක්ම අප සැමට නැවත නිවැරදි වීමට සහ නැවත ශ්‍රේණිගත කිරීමට අවස්ථා ලබා දෙනවා. මෙහිදී පවතින ගැටළු පිළිබඳ අවධානය යොමු කරන අතරම, ඒවාට විසඳුම් සෙවීමේ පාර්ශවකරුවන් වීමට අප කැමතියි. සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය සොයා ගැනීමට විවෘත මනසකින් අප සමඟ සම්බන්ධ වන්න. ඉදිරි ගමන දුෂ්කර නමුත් අපි මේ රටේ සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කරනවා.

අමානා බෑන්ක් පී.එල්. සී හි ප්‍රධාන විධායක නිලධාරී මොහමඩ් අස්මීර්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිම සඳහා වන අභියෝගත්මක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති සහ ඒ පිළිබඳ ප්‍රධාන තීරණ ගන්නා පාර්ශ්ව විසින් ව්‍යාපාරික ප්‍රජාවේ යෝජනා හා අදහස් ලබා ගැනීමට මෙම අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳ මම මෙම සමුළුවට ස්තූතිවන්ත වෙනවා.

ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා

රටේ නායකත්වය, රට සහ ආර්ථිකය ගමන් කරන දිශානතිය ගැන අපට විශ්වාසයක් තිබෙනවා. මේ වන විට උද්ධමන අනුපාතිකය අඩු වෙමින් පවතිනවා. එසේම පොලී අනුපාතය අඩු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති දැඩි සහ ඉතා විචක්ෂණ ප්‍රතිපත්ති හේතුවෙන් ආනයන සීමා කිරීම් දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතිනවා.

දේශීය ව්‍යවසායකයින් වශයෙන් අපට අපේ රට දියුණු කිරීමට සහය දිය හැකියි. ආර්ථිකයට සහයෝගය දැක්විය හැකියි. අපට බදු ගෙවිය හැකියි. රැකියා අවස්ථා උත්පාදනය කළ හැකියි. ධනය ඇති කළ හැකියි. එබැවින් කරුණාකර අපට සහයෝගය ලබා දෙන්න . අපගේ ආදරණීය මාතෘ භූමිය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ලෙස අපගේ සහාය ලබා දීම අපගේ මුලික අරමුණයි.

කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ නිරෝ කුක් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් විශාල ප්‍රමාණයක් නීතිඥවරුන්. ඒ වගේම අද මෙම අවස්ථාවට සහභාගි වන සියලු දෙනා දැවැන්ත බලපෑමක් කළ හැකි අයයි.

එමෙන්ම ඔවුන්ට ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙහෙයවීමට හැකියාව තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ පමණක් නොව සෑම අංශයකින්ම ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ඔබේ යුතුකම ඉටු කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා

ලංකා අයිඕසී, පීඑල්සී කළමණාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා

පසුගිය වසර තුළ රටෙහි ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට රටට ඉමහත් ලෙස උපකාර කළ ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා, බලශක්ති අමාත්‍යාංශය, මහ බැංකුව සහ අනෙකුත් සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ එම කැප කිරීම නොවන්නට, ඒ අවස්ථාවේදී විදේශ විනිමය වෙන් කරමින් රටට අත්‍යවශ්‍ය නිෂ්පාදන ලබා ගැනීමට නොහැකි වනවා.

ශ්‍රී ලංකා ටෙලි කොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා

ශ්‍රී ලංකාව ව්‍යාපාරික හිතකාමී රටක් බවට පත් කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ඩිජිටල්කරණයයි. මෙය සිදු කිරීම සඳහා පරිපාලන සහ නීතිමය ක්‍රියාවලීන් ඩිජිටල් සබැඳි ක්‍රියාවලි බවට පරිවර්තනය කළ යුතුයි.

හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරයේ සභාපති විනෝද් හයිඩ්‍රාමණී, අක්බාර් බ්‍රදර්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂ අස්ගි අක්බරලි (Asgi Akbarally), රිචර්ඩ්සන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඉමල් ෆොන්සේකා යන මහත්වරු ද මෙහිදී සිය අදහස් පළ කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නීතීඥ ආචාර්ය කේ කනග්-ඊස්වරන්, ජනාධිපති නීතීඥ ආචාර්ය ෆයිස් මුස්තාපා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් මෙන්ම ප්‍රමුඛ ව්‍යාපාරික සමාගම් රැසක ඉහළ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

Most popular