Presidential Secretariat of Sri Lanka

ගොඩනැගිල්ලේ ඉතිහාසය

parliment_officeශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයා, විධායකයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ද වේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති කාර්යයන්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පරිපාලන සහ ආයතනික රාමුව සම්පාදනය කරනු ලබන්නේ ජනාධිපතිතුමන්ගේ කාර්යාලය වන “ ජනාධිපති ලේකම් කාර්යාලය” මගිනි.

වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ ගාලුමුවදොර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි ය. අප රටේ දේශපාලන විකාශනයෙහි ඉතා වැදගත් ආයතනික සන්ධිස්ථානයක් වන මේ තේජාන්විත ප්‍රාසාදය අදින් වසර 82 කට පෙර ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “ අයෝනියානු ශෛලිය” ට අනුව නිර්මාණය කරන ලද්දකි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එහි බාහිර පෙනුමින් ඇතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීන්” නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “ පාතිනන්” ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලයි.

ව්‍යවස්ථාදායක සභාව ලෙස මේ ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1930 ජනවාරි මස 29 වැනි දින ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසිනි. එම අවස්ථාවේදී ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මැතිතුමන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “ අප සියලු දෙනාගේ පැතුම මෙන්ම යැදුම වන්නේ මේ බිත්ති අතර සිදුවීමට නියමිත සාකච්ඡා හා සංවාද ජාතික ජීවයෙහි සහ ජාතික ප්‍රගතියෙහි සංකලනයක් ලෙස විෂම සම්ප්‍රදායන් යටපත් කිරීමෙන් අන්‍යෝන්‍ය ගෞරවය මත පිහිටා සහයෝගයෙන් ජන සමාජයේ ප්‍රජාවන් සහ පංති එකට එක්කාසු කිරීම උදෙසා ක්‍රියා කිරීමය”

(ව්‍යවස්ථාදායක සභා විවාද (1930), 1 වෙළුම)

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ පසුව සිදු වූ ව්‍යවස්ථාදායකයේ නාම සංශෝධනයන් සමඟ මෙම ගොඩනැගිල්ල රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–1947) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947-1972) ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (1978-1982) යන නම්වලින් හැඳින්විණි. පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව මේ පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් මස 8 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස යළිත් නාම ගැන්විණි.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මූලාරම්භ කරන ලද්දේ 1912 දී ලංකා ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මැකලම් මහතා විසිනි. මේ සඳහා ගාලුමුවදොරෙහි උතුරු කෙළවර හමුදා නිල නිවාස හා බේරේ වැව අතර පිහිටි ගොඩකරන ලද ඉඩමක් තෝරා ගැනිණි. පසෙහි ස්වභාවයත් සම්පූර්ණ ව්‍යුහය බරැති සවිගැන්වූ කොන්ක්‍රීට් කුළුණු මත දරා සිටීමත් නිසා මෙහි පදනම සම්බන්ධයෙන් විශේෂ පූර්වෝපායයන් ගනු ලැබිණි. මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල ගාලුමුවදොර අබියස බටහිරට මුහුණලා විධානකර විලාසයකින් පිහිටුවා ඇත. විවෘත දෘෂ්ඨියක් ලැබෙන පරිදි හා හමා යන සුළ‍ඟේ වාසිය ලබාගත හැකි පරිදි ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත. මුහුදේ ඝෝෂාවෙන් අවහිරයක් නොවනු පිණිසත් දිවා කල සූර්යාලෝකයෙන් හා නිරිත දෙසින් හමන දැඩි සුළඟින් ආවරණය වනු පිණිත් සභා මන්ඩපය ගොඩනැගිල්ලේ නැගෙනහිර කොටසෙහි පිහිටුවා ඇත.

බිම් මහලේ ගල් මත බාහිර ආරෝහණය සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ ඒ සඳහා විශේෂයෙන් ම අත්පත් කරගන්නා oldbuildingලද රුවන්වැල්ලේ ගල් වලකිනි. බිම් මහලේ පොළොවෙහි අතුරා ඇති ගල්වලට ගැළපෙන ලෙස විශේෂ වර්ණ සංයෝජනයකින් යුක්ත බදාමයක් ඒ මතින් යොදා තිබේ. මෙහි සැකැස්ම මුළුමනින්ම නීතිරෝධක වන අතර බිත්ති කොන්ක්‍රීට් පොළොව සහ කොන්ක්‍රීට් කුළුණු වානේ රාමු යොදා ශක්තිමත්කර ඇත. මුළු ගොඩනැගිල්ලම කොන්ක්‍රීට් ටැම් මත ඉදි වී ඇත. ගොඩනැගිල්ල තුළ ශබ්දය අඩු කිරීම සඳහා එහි පොළොවට කිරළ කළාල සහ ලිනෝලියම් බහුල ලෙස යොදාගෙන ඇත.

ආලින්දය සහ බරාඳ මිශ්‍ර වර්ණයන්ගෙන් යුතු ඝන රබර් ඇතිරිලිවලින් අවාරණය කොට ඇත. දෝංකාරය අවම වන ලෙසත් ධ්වනි ගුණ හැකි උපරිමයෙන් ආරක්ෂා වන ලෙසත් නිර්මාණය කිරීමේදී සභා මණ්ඩපය විශේෂ අවධානයක් දිනා ගෙන ඇත. බිත්ති සහ සිවිලිම ඉවත දමන උක්දඬු කෙඳිවලින් සකස් කරන ආරක්ෂක අවශෝෂකයක් වන “පෙලෝටෙක්ස්” වලින් ආවරණය කර ඇත.

දොර ජනෙල් සහ විද්‍යුත් උපකරණ සඳහා ලෝකඩ භාවිතා කර ඇත. සභා මණ්ඩපයේ  පහළ කොටස වාත්තු කරන ලද තේක්ක ජනේලයන්ගෙන් නිමවා කාල වර්ණයෙන් ඔප දමා ඇත. සභා මණ්ඩපයේ  ඉහළ කොටස විචිත්‍ර ලෙස බුරුත දැවයෙන් නිමවා ඇත. බිම් මහලේ ඇති වේගවත් පංකා මගින් ජනනය වන සුළං ප්‍රවාහය විශාල නළ හරහා ගොඩනැගිල්ලට යොමු කෙරෙන අතර එමගින් සභා ගැබ තුළට පිරිසිදු වාතාශ්‍රය සැපයේ. නියෝජිතයින්ගේ ආසන යට ඇති සීරු මාරු කළ හැකි ගරාදි තුළින් වායු ධාරා නිකුත් කෙරේ. ආසන පිටුපස ඇති කවුළු හරහා ප්‍රේක්ෂකාගාරයට වාතය සංසරණය කෙරේ. කථා පැවැත්වීමේදී ඉහළින් සවිකරන පංකා මගින් ශ්‍රවණයට හා පැහැදිලි බවට බාධා ඇති වීම එමගින් ඉවත්කොට ඇත. ගොඩනැගිල්ල පුරා විදුලි ආලෝක සැකැස්ම සෘජුව දක්නට දක්නට නොලැබෙන සේ සැලසුම් කොට ඇති අතර බොහෝ අවස්ථාවල එම උපාංග සම්පූර්ණයෙන්ම ආවරණය කොට තබා ඇත. සභා මණ්ඩපය තුළ මන්ත්‍රීවරුන් සඳහා  මේස ලාම්පු සපයා දී ඇති අතර සභා මණ්ඩපයේ ඉහළ කොටස ගොඩනැගිල්ලේ වඩාත්ම ඉහළින් ඇති ජනේලවලට පිටතින් සවිකොට ඇති අධි බලැති පහන්වලින් පරාවර්තිත එළියෙන් ආලෝකමත් කොට ඇත. විවිධ ශාලාවල නොයෙක් වර්ණ සංයෝජනයන්ගෙන් ද විශිෂ්ට ධ්වනි ගුණවලින් ද යුතු ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය මනරම්ය. තවද මහජන වැඩ දෙපාර්තමේන්තුවට සහ එහි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ඒ.වුඩ්සන් මහතාට හිමි විය යුතු ගෞරවය පිළිබිඹු කෙරෙන විස්තර කෙරෙහි අවධානය යොමු කරවයි. ගොඩනැගිල්ලේ අලෝකකරණ සහ සංවාතන පද්ධතීන් විශිෂ්ට මට්ටමක පවතින අතරම ඒ තුළ වැඩ කටයුතු කරන සියලු දෙනාගේ උපරිම සුව පහසුව සඳහා සෑම උත්සාහයක් ම දරා ඇත.

Most popular