Follow Us:

Friday, Aug 01
ජූලි 31, 2025

ජනපති මාලදිවයින් ව්‍යාපාරික සංසදය අමතයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ සහභාගි විය.

මාලදිවයිනේ JEN Maldives Malé හෝටලයේ පැවති මෙම ව්‍යාපාරික සංසදයෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයන්හි ආයෝජන සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දෙමින් මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කිරීමය.

මෙහිදී මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා සහ හැකියාව පිළිබඳ අවධාරණය කළේය. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සහයෝගය තුළින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වත්මන් ශ්‍රී ලංකාවෙහි ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය. ඒ අනුව, පැවති ඉහළ උද්ධමන අගය ආදී ආර්ථිකමය අභියෝග මේ වන විට ජය ගෙන ඇති බවත්, විදේශ සංචිත ශක්තිමත් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කකළ අතර 2025 වර්ෂයේදී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බැවින්, මේ මොහොතේ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පැහැදිලි සහ ස්ථායී මාවතක ගමන් කරමින් තිබෙන බව මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළේය.

එසේම, 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නිර්මාණය වී ඇති බවත්, එබැවින් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්ම අනුව, සුපිළිපන් පාලනයක් සහ දූෂණයෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර සමාජයක් ගොඩනැඟෙමින් පවතින බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව මාලදිවයින් ආයෝජකයන් දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සංචාරක කර්මාන්තය, ආහාර සැකසුම්, ධීවර කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, නාගරික යටිතල පහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) වැනි ක්ෂේත්‍රවල පවතින විශාල ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළේය.

එහිදී, මාලදිවයින විසින් සිය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාත්මක කරන ලද උපායමාර්ග ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සාගර කලාපය තුළ සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේදී හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. 2025 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 3ක් පැමිණේ යැයි අපේක්ෂා කෙරෙන බැවින්, නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් පවතින බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම, ධීවර කර්මාන්තය, ජලජීවී වගා සහ කෘෂිකර්මික සැකසුම් වැනි ක්ෂේත්‍රවලද අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉහළ නැංවීම මගින් දෙරටටම වාසිසහගත ප්‍රතිඵල ළඟා කර ගත හැකි බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණඥයන්ට AI, IoT, සහ යන්ත්‍ර ආශ්‍රයෙන් ඉගෙනීම වැනි නැඟී එන තාක්ෂණය කඩිනමින් ග්‍රහණය කර ගැනීමේ නිපුණතාව පවතින බැවින් එම ක්ෂේත්‍රය තුළ නව ආයෝජන සඳහා විශාල විභවතාවක් සහ ධාරිතාවක් පවතින බව ජනපති අවධාරණය කළේය.

එසේම, නාවික හා සැපයුම්, නාගරික සංවර්ධන ව්‍යාපෘති, සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති වැනි දිගුකාලීන ආයෝජන සඳහාද ශ්‍රී ලංකාව තුළ හිතකර ආයෝජන පරිසරයක් පවතින බවත්, ආයෝජකයින්ගේ හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සංශෝධන සහ නව නීති සැකසීමට කෙරෙමින් ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.

කොළඹ වරාය නගරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මුල්‍ය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ නවෝත්පාදන ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් වශයෙන්ද නවීන මූල්‍ය හා ව්‍යාපාරික නගරයක් ලෙසද, කොළඹ වරාය නගරය ව්‍යවසායකයින්ට දැවැන්ත අයෝජන අවස්ථා උදා කරනු ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

මාලදිවයින අසල්වැසියකු පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ විශ්වාසදායක හවුල්කරුවකු බව පැවසූ ජනාධිපතිවරයා, මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන හා එක්වන ලෙසට ආරාධනා කළේය.

මාලදිවයිනේ ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍ය මොහමද් සයීඩ් (Mohamed Saeed) මහතාද මෙහිදී අදහස් දැක් වූ අතර, ශ්‍රී ලංකා -මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සුදේශ් මෙන්ඩිස් මහතාද මෙම අවස්ථාවට අදහස් දැක්වීමෙන් එක් විය.

අනතුරුව, ප්‍රශ්න සහ පිළිතුරු (Q&A) සැසියක් ක්‍රියාත්මක වූ අතර, ව්‍යාපාරික ප්‍රජාව නැඟූ ගැටලුවලට ජනපතිවරයා ඇතුළු පිරිස පිළිතුරු ලබා දුන්හ.

මෙම අවස්ථාවට ආගන්තුක සත්කාර, ආහාර පාන, සෞඛ්‍ය සේවා, ඉදිකිරීම්, නාවික සහ වෙළෙඳාම වැනි ක්ෂේත්‍ර නියෝජනය කරමින් මාලදිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් එක්ව සිටි අතර, එම ක්ෂේත්‍රවලට අදාළව, දෙරටේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සංවාදයක් ගොඩනැඟීමට මෙන්ම, අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩිවර්ධනය කිරීම සඳහා මනා වූ වේදිකාවක් බවට මෙය පත් විය.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිසද, මාලදිවයිනේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Top