Follow Us:

Sunday, Aug 10
අගෝස්තු 9, 2025

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය ජනපතිට

ඓතිහාසික උරුමයත්, සංස්කෘතියත් අතහැර රටේ අනාගත සංවර්ධන මාවත තෝරා ගත නොහැකියි
ජනපති

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (09) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඇසළ පෙරහැර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් සම්පාදිත “පූජනිය දළදා සංස්කෘතිය” ග්‍රන්ථයේ 20 වන කලාපය ද ජනාධිපතිවරයාට පිළිගැන්විණි.

බෞද්ධ සංස්කෘතිය සමඟ ගොඩනැගුණු, කිසිවිටකත් අත්හැරිය නොහැකි, ආරක්ෂා කරමින් වර්ධනය කළයුතු මහා උරුමයක් ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උරුමයෙහි වැදගත්ම අවස්ථාව ලෙස ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය සැලකෙන බව සඳහන් කළේය.

ලෝකයට ජයග්‍රහණ ගෙන දුන් විසි වන සියවසේ සිදුවූ නව පරිවර්තනය ජාතියක් ලෙස උකහා ගැනීමට අප සමත්වූවාද කියා නැවත විමසිය යුතු බවත්, අපට වඩා පසුපසින් සිටි බොහෝ රාජ්‍යයන් විසි වන සියවස අග භාගයේදී අපව පසුකර ගියේ, එම සියවසේ ජයග්‍රහණ ඉතා වේගයෙන් තමන්ගේ රාජ්‍යයයන්ට අත්පත් කර ගැනීම තුළින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ලෝකයේ අනාගතය අත්පත් කර ගැනීමේදී මෙන්ම ඇතැම් විට ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීමේදීද අප අසමත් වී තිබෙන බවත්, අපට අනන්‍ය වූ අනාගතය සහ සංවර්ධන මාවත තෝරා ගන්නේ කෙසේද යන අභියෝගය සහ කතිකාව අද අප ඉදිරියේ තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා අපේ අනන්‍ය ගමන සොයා ගැනීමේ දි සහ ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහාගත යුතු බව පෙන්වා දුන්නේය.

එලෙස නව ජාතිය ගොඩනැගීමේදී මෙම දළදා පෙරහැර මංගල්‍යය සංස්ධිස්ථානයක් බවත්, රටේ අනාගතය වෙනුවෙන් මෙවන් සංස්කෘතික මංගල්‍යය තව තවත් ආකර්ෂණිය ලෙස පොදු ජනතාව අතරට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ඊයේ දින මෙම පෙරහැර නරඹන විට නව යොවුන් තරුණයන් විශාල ප්‍රමාණයක් ඉතාමත් උද්යෝගයෙන් සහ ජවයෙන් පෙරහැරේ ගමන් කරනවා මම දුටුවා. ඒ දෙස බලා සිටින විට අපේ රටට අනාගතයත් තිබෙන බවට මහත් සතුටක් සහ ධෛර්යයක් ගෙනවිත් දෙනවා. ඒ වෙගේම මම දැක්කා කුඩා දරුවන් මෙන්ම වයෝවෘධ අයත් ඉතා ජවයකින් නර්තන ඉදිරිපත් කළා. අපට අවශ්‍ය තවදුරටත් මෙම සංස්කෘතික අවස්ථාවන් සමඟ බද්ධ වූ ජාතියක් ලෙස ඉදිරියට යාමටයි. ඒ වෙනුවෙන් පොදු ජනයාට අපේ ඓතිහාසික උරුමය සහ සංස්කෘතිය සමඟ ඓන්ද්‍රීයව බැඳීමට සහ හැදෑරිමට අවශ්‍ය වටපිටාව අපි නිර්මාණය කරමු”

රටේ සංස්කෘතික සහ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය ලෙස ලබා දිය හැකි ඉහළම සහාය වන්නේ දේවාල ඇතුළු ආයතන පද්ධතියෙන් දේශපාලනය ඉවත් කර, ඒවා ඓතිහාසික භාරකරුවන්ගේම උරුමයක් බවට පත් කිරීම බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා මෙම සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබා දෙන අනුග්‍රහයත්, දේශපාලන න්‍යාය පත්‍රයත් දෙකක් බව ඉතා හොඳින් වෙන් කර ගත යුතු බවද සඳහන් කළේය.

මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබාදුන් මල්වතු – අස්ගිරි මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, පෙරහැර කටයුතු වෙනුවෙන් කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාටත් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Top