“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්ප අනුව යමින්, කතරගම ඇසළ මහෝත්සවයට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ සහ නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ කතරගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක් ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ආරම්භ කරමින් ක්ලීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දසුන් විජේසේකර මහතා ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව පැහැදිලි කළේය. මගීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ බැතිමතුන් ඇතුළු දිවයිනේ නන්දෙසින් පැමිණි සියලු ජන කොටස් ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම සිදු කෙරිණි.
පාසැල් සිසුන්ගේ සහ ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්, මෙම වැඩසටහන, කතරගම, සෙල්ලකතරගම සහ වැඩහිටිකන්ද යන ස්ථානවලදී ඇසළ මහෝත්සවයේ අවසන් දිනය වන ජූලි 10 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා එලිෆන්ට් හවුස් සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, කතරගම ප්‍රාදේශීය සභා සභාපති ධර්මපාල හේරත්, ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අංජුල ප්‍රේමරත්න යන මහත්වරු, පාසැල් සිසු සිසුවියන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජනය කරමින් කතරගම සොබා පරිසර තුරුණු සමාජයේ තරුණ තරුණියන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක් වුහ.