Follow Us:

Sunday, Jun 15
ජූනි 15, 2025

පොසොන් සතියට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් රැසක් අනුරාධපුර නගරයේදී

2025 ජාතික පොසොන් උලෙළට සමගාමීව නම් කරන ලද, පොසොන් සතිය තුළදී අටමස්ථාන ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම ඇතුළු පරිසර හිතකාමී ක්‍රියාකාරකම් රැසක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් අනුරාධපුර නගරයේදී සිදු කෙරිණි.

එහිදී අටමස්ථානය සහ මිහින්තලේ ආශ්‍රිතව කසළ කළමනාකරණය කිරීම සඳහා එම ප්‍රදේශයේ දිරන නොදිරන කසළ බහාලුම් තබා ඇති ස්ථාන ආවරණය කිරීමට ස්ථීර ආවරණ සකස් කිරීම, ප්ලාස්ටික් බෝතල් රඳවන බහාලුම් ස්ථානගත කිරීම මෙන්ම සාමාන්‍ය කසළ රඳවන බඳුන්වලට අමතරව, සිපෙට්කෝ ආයතනය සමඟ සාකච්ඡා කර, ඉවතලන බැරල් කසළ බඳුන් ලෙස සකසා ලබා දීම සිදු කෙරිණි. මේ සඳහා අදාළ ස්ථාන දැනටමත් හඳුනාගෙන ඇති අතර, පූජා නගරය ආශ්‍රිතව ස්ථාන 20ක කසළ බහාලුම් සඳහා ආරක්ෂිත ආවරණ කිරීම සඳහා මේ මස තුළදී ඉදිකිරීම් අවසන් කර භාරදීමට සහ ස්ථානගත කිරීමට නියමිතය.

ආවරණ සකස් කර දීම සඳහා අනුග්‍රාහක දායකත්වය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, රඹෑව යාන්ත්‍රික ඉංජිනේරු කම්හල, ආර්පිකෝ, කාගීල්ස් හා කීල්ස් යන ආයතනද, ප්ලාස්ටික් බහාලුම් සඳහා කොකා-කෝලා ආයතනයද, කසළ බඳුන් සඳහා සිපෙට්කෝ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද දායකත්වය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහයෝගය දක්වන ලදී.

තිසා වැව, බසවක්කුළම වැව, නුවර වැව, මහකනදරාව වැව, නාච්චාදූව වැව, බුලන්කුළම වැව, කුච්චවඩිකුළම වැව හා තෝරාගත් වැව් හා ඇළවේලි කිහිපයක් ආශ්‍රිතව නාන ස්ථාන ලෙස භාවිත කරන මංකඩ ආශ්‍රිතව ඇති ඉවතලන බෑග් කවර, සිලි බෑග් සහ අනෙකුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් තැබීම, අවදානම් සහිත ස්ථාන ආශ්‍රිතව දැන්වීම් පුවරු ප්‍රදර්ශනය, පොසොන් සතිය තුළදී නාවික හමුදාවේ සහයෝගය ඇතිව ජීවිතාරක්ෂක භට පිරිස් සහ නාවුක බෝට්ටු කිහිපයක් යෙදවීමද සිදු කරන ලදී.

මෙහිදී, මංකඩ ආශ්‍රිත බඳුන් තැබීමට අවශ්‍ය බඳුන්, ෆීනික්ස් ආයතනය සහ ආපිකෝ ආයතනයෙන් ලබා දීමට කටයුතු කරන ලදී. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ස්ථාන දැනුවත් කිරීමේ පුවරු AIA, Ceylinco, Sri Lanka Insurance ආදී රක්ෂණ ආයතනවල අනුග්‍රාහකත්වයෙන් සිදු කරන ලදී. මෙම කාර්‍යයන්හි වගකීම අනුරාධපුර නාගරික කොමසාරිස් විසින් දැරිණ.

රඹෑව,මිහින්තලේ,පුලියන්කුළම,හොරොව්පොතාන ආශ්‍රිතව තෝරා ගත් පාසල් කිහිපයක් කේන්ද්‍ර කර ගෙන ගම්මාන කිහිපයක් වෙත RO System Water Filters ලබා දීම සම්බන්ධයෙන් මූලික සොයා බැලීම, වැසිකිළි පහසුකම්, ජල පහසුකම් ඉහළ නැංවීම යන කටයුතු දිස්ත්‍රික් ලේකම්ගේ මැදිහත් වීම මත තොරතුරු ලබා ගෙන තෙමසක් තුළදී ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, තරුණ සේවා සභාවේ පාඨමාලා ලාභීන් වීදි නාට්‍ය ඇතුළු ස්වේච්ඡා කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට කටයුතු කෙරේ.

පහසුකම් සලස්වන්නන්, රාජ්‍ය නිලධාරීන්, පොදු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමත්, රටේ ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සාක්ෂරතාව සහ ආචාරධාර්මික රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය ආදී කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත්, පළාත් ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්, පසු අස්වනු තාක්ෂණික ආයතනය ඇතුළු ආයතන රැසක සහභාගීත්වය යටතේ සිදු කිරීම සඳහා පොසොන් කලාපය තුළ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටු වන ලදී. මෙයින් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වූ අතර, පරිසරය අනාගත පරපුර වෙත සුරක්ෂිතව පැවරීම පිළිබඳ වත්මන් පරපුරේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී.

පාරිසරික තිරසරබව සුරැකීම අරමුණු කර ගනිමින්, වාරිමාර්ග/පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනද සම්බන්ධ කරගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අනුරාධපුර ප්‍රදේශයේ තෝරා ගත් ඇළවේලි පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාසල් ප්‍රජාවගේ දායකත්වයෙන් පාරිසරික සුරක්ෂිතතාව යන තේමාව මුල් කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීම මෙවර පොසොන් සතිය තුළදී සිදු කරන ලදී.

Perera & Sons ආයතනය, අනුරාධපුර සිංහ සමාජය සහ Dream Force Sri Lanka සමාජයේ දායකත්වය ඇතිව අනුරාධපුර ශාන්ත තෝමස් විද්‍යාලීය පරිශ්‍රයේදී 2025 ජුනි මස 07 වන දින පෙ. ව. 7.30 සිට ප.ව. 7.30 දක්වා පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ නායකත්ව පුහුණු වැඩමුළුවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් පොසොන් සතියෙහිදී සිදු කරන ලදී.

මෛත්‍රීපාල සේනානායක විද්‍යාලය සහ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය යන විදුහල්වල සිසු දරු දැරියන් උදෙසා පෞරුෂ සංවර්ධනය සම්බන්ධ වැඩමුළුවක් සහ නායකත්ව පුහුණු වැඩමුළුවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් පොසොන් සතිය තුළදී සිදු කරන ලදී. මේ සඳහා සහභාගී වූ දරුදැරියන් විසින් භක්ති ගීත ප්‍රසංගයක්ද පොසොන් සතියට සමගාමීව සිදු කරන ලදී.

2025 ජුනි මස 11 වන දින පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වයෙන් පසු අස්වනු තාක්ෂණය සහ මූල්‍ය කලමනාකරණය සම්බන්ධයෙන් ග්‍රාමීය ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම ජාතික අස්වනු කළමනාකරණ ආයතනයේ රසායනාගාර අංශයේ ප්‍රධානී සී.ආර්. ගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණු අතර, මූල්‍යකරණය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු දුමින්ද දිසානායක මහතා විසින් සිදු කරන ලදී. ගොවියකු ලෙසද කලක් කටයුතු කළ, පසුව පාර්ලිමේන්තුව වෙත තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කරන ලදී.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ අනුරාධපුර නගර සභාව එක්ව පොසොන් සතියට සමගාමීව 2025 ජුනි මස 12 වන දින පෙරවරුවේ බසවක්කුළම වැව් තාවුල්ලේ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි. එයට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂු ශිෂ්‍ය සංගමයේ ස්වාමින්වහන්සේ සිය නමක් එක් වූහ.

අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න, භික්ෂු ශිෂ්‍ය සංගමයේ සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු ගිහිපැවිදි පිරිසක් එයට එක් වූහ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සංවිධාන කළ Music Therapy වැඩසටහන 2025 ජුනි මස 12 වන දා පස්වරුවේ අනුරාධපුර, සුරපුර එළිමහන් වේදිකාවේදී ආරම්භ විය. ඒ සඳහා යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා නිලධාරින්, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා සමාජිකයන්, රාජ්‍ය නිලධාරින් දහසක් ඊට සහභාගී වුහ. මෙහි විශේෂ දේශනය සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය මධුර ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී.

 

Top