Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතවීමට ලැබිම මහත් සතුටක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) මහතා පවසයි.

තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටියදී දක්නට ලැබුණාට  වඩා සාධනීය පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ආර්ථික සංවර්ධනය, මානවවාදී අභිලාෂ හමුදා සහයෝගිතාවය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ජනාධිපතිතුමා සහ ලැව්රෝව් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු කෙරිණ.

මෙරට චාරිකාවක නිරතවීම පිළිබඳව ජනාධිපතිතුමා රුසියානු විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළේය. දෙරට අතර නව ගුවන් ගමන් ඇරඹීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය.

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී රුසියාව කැඩෙට් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ විදේශ අමාත්‍යවරයා මේ වන විට එය සිසුන් 70 දක්වා ඉහළ නංවා ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැට්රි (Yuri Materiy)  මහතා ඇතුළු රුසියානු නියෝජිත පිරිසක් ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය)
2020-01-14

 

පුවත්