Presidential Secretariat of Sri Lanka

අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ජනාධිපති කමිටුව

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා (National Action Plan – NAP)  රාජ්‍ය ආයතනවල වෘත්තිකයන් සහ අලි මිනිස් ගැටුම් කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විශේෂඥයන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් 2020.07.22 දිනැතිව පත්කරන ලදී.

ඉහත කමිටුවේ සභාපතිවරයා වූයේ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතාය. මෙම කමිටුව 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර මේ හා සම්බන්ධ රජයේ වගකිවයුතු ආයතන, අලින් සම්බන්ධ පර්යේෂකයින් හා මෙම ක්ෂේත්‍රයේ අලි-ඇතුන් පිළිබඳ පර්යේෂණ සිදු කළ සහ පුළුල් පළපුරුද්දක් ඇති විවිධ විද්වතුන්, විශේෂඥයින් සෙසු සාමාජිකයින් විය.

කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් සියලුම අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රම පිළිබඳ සමාලෝචනයක් පවත්වන ලදී. ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් තෝරාගනු ලැබුවේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල සඵලතාවය, සුදුසු භූගෝලීය සහ කාල පරිමාණයකින් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සහ පිරිවැය අවම විම මත පදනම්වය. අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළයුතු ජාතික වැඩසටහන ඇතුලත් ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) උපාය මාර්ග, යෝජනා සහ නිර්දේශ ඇතුළත් ජාතික ක්‍රියාකාරී සැලැස්ම ගරු ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුලත් යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා “අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ජනාධිපති කමිටුව” පත්කරන ලදී. ආචාර්ය සුමිත් පිලපිටිය, (ආචාර්ය/පරිසර විශේෂඥ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්) කමිටුවේ සභාපතිවරයා වන අතර රාජ්‍ය ආයතනවල වෘත්තිකයන්, මෙම ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් ඇති, අලි ඇතුන් සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයන් 13 දෙනෙකු සෙසු සාමාජිකයින් වේ. මෙම විශේෂ කමිටුව NAP හි යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥතාව සහ දැනුම, පළපුරුද්ද දායක කරගැනීමට අපේක්ෂා කෙරේ.

ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුලත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මෙම කමිටුවේ පළමු කාරක සභාව 2022 නොවැම්බර් මාසයේ 08 දින පැවැත්වුණු අතර, ඉන්පසුව රැස්වීම් වාර 03ක් ද පවත්වා මේ සම්බන්ධව කටයුතු කරමින් සිටී.

පහත සබැඳියෙන්, ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම (National Action Plan – NAP)  සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පරිශීලනය කළ හැකිය.

වැඩිදුර විස්තර
ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAP) සඳහා මෙතනින් පිවිසෙන්න