Presidential Secretariat of Sri Lanka

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව  අමතන පළමු අවස්ථාව මෙය වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.

පුවත්

Most popular