Presidential Secretariat of Sri Lanka

රටට සහ ජනතාවට සෙත් පතා කොටුව ජනාධිපති මන්දිරයේ දී පරිත්‍රණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක්

රටට සහ සමස්ත ජනතාවට  ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දි පැවැත්විණි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන, මාතර පාලටුව, බෞද්ධෝදය මහා විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද,  කොල්ලුපිටිය වාලුකාරාමාධිපති පූජ්‍ය මහරගම නන්ද, කයිකාවල සුනන්දාරාමාධිපති විචිත්‍ර භාණක පූජ්‍ය බෝපිටියේ විජිත, රෝහන සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය නාරන්දෙනියේ ධම්මාවාස, ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

‍මහා සංඝරත්නය තුන්සිය නමක් විෂයෙහි  දානමය පුණ්‍යකර්මය අද (05) දහවල් සිදු කෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක ස්වාමීන් වහන්සේගේ සහ  මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දානමය පුණ්‍ය කර්මයට ත්‍රෛනිකායික මහානායක, අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය වරාගොඩ පේමරතන සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, සෙළොස්මස්ථානාධිපති, අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි යන ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් පිංකම්වලට එක්ව සිටියහ.

පුවත්

Most popular