Presidential Secretariat of Sri Lanka

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත පාරිසරික සහ ජනතා ගැටලු ජනපති අවධානයට

  • නිසි තාක්ෂණික ක්‍රමවේදය සහ පරිසර නියමයන් අනුව
    ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට බලධාරින්ට උපදෙස් …
  • ජන ජීවිතයට බලපාන ගැටලු සඳහා ස්ථීර විසඳුම් …
  • 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර …

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපතිතුමා මැදිහත් වෙයි.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව එතුමා අවධාරණය කරයි.

අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති කාර්යාලයේ  පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකග වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කෙරේ. එහි සිව්වන අදියර පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයකි. එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය. විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතුය. ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශණයට විදුලිබල අමාත්‍යවරයා, අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බව  ජනාධිපතිතුමා පැවසීය.

තමා ද  බලාගාරය නිරික්ෂණයට පැමිණෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.  ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

වසර 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුවිපරම අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දි දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිතුමාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී  පසුගිය සමයේ  සිදුවු අක්‍රමිකතා පිළිබඳව  උන්වහන්සේ කණගාටුව පළ කළහ.

පුවත්

Most popular