Presidential Secretariat of Sri Lanka

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම ඇරඹේ

  • ගුවන් ටිකට්පත් සඳහා 50% ක වට්ටමක් ….
  • පැමිණි සිසුන් අඛණ්ඩ වෛද්‍ය පරීක්ෂණවලට …
  • සෞඛ්‍ය කාර්ය සාධක බලකාය අද රැස් වෙයි …
  • ඉදිරි පියවර පිළිබඳ තීරණ රැසක් එහිදී …
  • චීනයෙන් එන ගුවන් මගීන්ට පිටවීමට වෙනම පර්යන්තයක් ..

චීනයේ  වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම ඇරඹී ඇත. ටියැංජින් (Tianjin) සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වයි. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරයි.

සිචුආන්  ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන්තොටුපොළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙන එනු ලැබේ. නැනින්හි සිටින සිසුන් 30 දෙනා ද මේ පිරිසට එකතු කර ගැනේ. වූහාන් (WUHAN) ප්‍රාන්තයට ඇතුල්වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නැත. එහි සිටින  සිසුන් රැගෙන ඒම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කරමින් පවතී.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිසුන්ට ගුවන් ටිකට්පත් සඳහා 50%ක විශේෂ වට්ටමක් ප්‍රදානය කරයි. හදිසි ඇමතුම් අංක ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හා සම්බන්ධවීමෙන් ඉතා ඉක්මණින්  පහසුකම ලබගත හැක. ක්‍රෙඩිට් කාඩ් පත් මගින් ගෙවීමේ දී තෙවැනි පාර්ශ්වයක කාඩිපතක් භාවිතා කිරීමට ද අවස්ථාව සලසා තිබේ.

සිසුන් පිළිබඳ සියලු දත්ත දැන් රැස් කර අවසන්ව ඇත.  ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි   සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකායක් ද පත් කර තිබේ.  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් යුත් කමිටුව අද රැස්වීමට නියමිතය.  එහිදී ඉදිරි පියවර පිළිබද තීරණ රැසකට එළැඹෙනු ඇත.

රජය උද්ගතව ඇති තත්ත්වයට මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. සිසුන් සමග නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කර ගැනේ. එම නිසා දෙමාපියන් කලබලයට පත්විය යුතු නැත. මේ වන විට ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තරයෙන්  පරීක්ෂාවන්ට යොමු වන ලෙසත්, විටින් විට ශරීර උෂ්ණත්වය නිරික්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

වෛරසය ආසාදිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20ක කාලයක් ගත වන බව සොයා ගෙන තිබේ. එම කාලය අවසන් වන තුරු මුඛ ආවරණ පළඳින ලෙස ද සියරට පැමිණ සිටින සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

චීනයේ සිට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට පිටවීමේ වෙනම පර්යන්තයක් ස්ථාපනය කිරීමට ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. යම් අයෙකු උණ රෝගියෙකු බව හඳුනාගතහොත් වහාම අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට ගිලන් රථ සහ සෙසු පහසුකම් ද සුදානම් කර ඇත.

පුවත්

Most popular