Presidential Secretariat of Sri Lanka

“ආසියාවේ අනාගතය” සම්මන්ත්‍රණයේ දී දකුණු ආසියානු දර්ශනය ජනපතිගෙන් ….

ජපාන තානාපති පවසයි.

“ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

මැයි 28 සහ 29 දෙදින  ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටී.

ජනාධිපතිතුමාගේ  චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සඳහන් කළේය.

සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වෙති.

සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී ඇරඹිණ.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද තානාපතිවරයා පැවසීය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා කීය.

ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද  අද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

 

 

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

2020-02-17

පුවත්

Most popular