Presidential Secretariat of Sri Lanka

ජන ගැටලු විසඳන්න ජනපති ගමට යයි

  • පළමු හමුව ගාල්ල උඩුගම හෝමාදොළ දී …
  • ප්‍රශ්න සමහරකට එසැණ විසඳුම් …

ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ.

සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය.  කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය  වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.  කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන්  විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට  පසුබිම  සකසන්නැයි එතුමා පැවසීය.

නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන්  විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන්  පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පුවත්

Most popular