Presidential Secretariat of Sri Lanka

දුෂ්කරතා මැද බේදයකින් තොරව ජනතාවට සහන සලසන බව ජනපති සමගි ජන බලවේගයට කියයි …

කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමග රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹි බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමේ සිට අත්‍යාවශ්‍ය සේවා බිඳ නොවැටී  දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට  සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ නිසා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකිවිය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වෛරසය ආසාධිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනාගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත  පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ. ඒ මගින් ආසාධිතයන් කල් තියා හඳුනාගැනීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිතුමා කියා සිටි.

මධ්‍යස්ථාන 40ක නිරෝධායන කටයුතු සිදු කෙරේ. රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහාය ඇතිව වෛරසය පැතිරයාම වැළැක්වීමට ක්‍රියා කර ඇත. රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සමගි ජන බලවේගය සිය ප්‍රසාදය පළ කළ අතර දේශපාලන සහ වෙනත් බේදයකින් තොරව වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය විය.

රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා  සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන එනු ලැබේ.

සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා පැහැදිළි කළේය. පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

සමෘද්ධිලාභීන්ට අමතරව වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් ඇතුළුව ලක්ෂ 07කට අධික සංඛ්‍යාවකට රුපියල් 5,000/- දීමනාව කිසිදු බේදයකින් තොරව ලබාදීමට ක්‍රියා කර තිබේ. යම් අයෙකුට එය නොලැබී ඇත්නම් ග්‍රාම නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි අවස්ථාව සලසා දි ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳව ද රජයේ සහ සමගි ජන බලවේගයේ අවධානය යොමු කෙරිණ.

රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු  ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

ජනාධිපති මාධ්‍ය අංශය    

පුවත්

Most popular