Presidential Secretariat of Sri Lanka

ජනපති විමසුමට ලෙබනන් රජයෙන් ඉහළ ප්‍රතිචාර

  • සිය රට එන ශ්‍රී ලාංකිකයන්ගේPCR පරීක්ෂණ නොමිලේ ….

 සිය රට එන ශ්‍රී  ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරටදීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කරයි. යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්‍රදානය කළ සහනය නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකි වෙයි.

විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින රටවල් ඇතුළු විදේශයන්හි සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාළ රටවලදීම සිදු කොට වාර්තා ලබා ගැනීමේ හැකියාව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එතෙරදී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරවය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බේරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරටදී PCR පරීක්ෂණ කිරීමට එකඟත්වය පළ විය.

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. නිරෝධායන සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ දී මේ තත්වය අතිරේක ගැටලුවක් බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග පසුගියදා කළ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මැද පෙරදිග සෙසු රටවල සිට යළි සිය රට එන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවලදිPCR පරීක්ෂණයෙන් පසු ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.

පුවත්