Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් 1,813,688ක් අරමුදලට ප්‍රදානය කර ඇති අතර චෙක්පත අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය රුපියල් 250,000ක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය රුපියල් 1,000,000ක් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත භාරදුන්නේය. බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු ද ඊට එක්වූහ.

හසන්ත ගුරුගේ මහතා රුපියල් 100,000ක් සහ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය රුපියල් 28,739.17ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,376,767,920.06 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්