Presidential Secretariat of Sri Lanka

එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි.

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින්  සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිතුමා වලපනේ නගරයේ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් මේ බව පැවසීය. හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ නිමල් පියතිස්ස මහත්වරු විසින් හමුව සංවිධාන කර තිබිණ.

රාජ්‍ය බැංකු ණය සම්පාදනය  තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු නොවන බව ද ගොවිහූ ජනාධිපතිතුමා සමග කීහ.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතී. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යති. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය  කර, එය පාසල සමග යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස   සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේය. හෙටම ඒ ගැන  සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා රිකිල්ගස්කඩ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

වලපනේ රෝහලට භික්ෂු වාට්ටුවක් ඉදිකර දෙන්නැයි සංඝරත්නය කළ ඉල්ලීම ගැන විමර්ශනය කොට වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට නියම කළේය.

අපේක්ෂක සතාසිවම් සුප්පයියා මහතා කඳපොළ පොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. රැස්ව සිටී ප්‍රදේශවාසී දෙමළ ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්හ. ජනාධිපතිතුමාට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් ද සිදු විය.

ගුණාත්මක බවෙන් යුත් බීජ අර්තාපල් හිඟයට විසඳුමක් දෙන ලෙස ද ගොවීහු එතුමාගෙන් ඉල්ලා සිටියහ.

කඳපොළ සිට නුවරඑළිය දක්වා යන අතරතුර ජනාධිපතිතුමා මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග ද සුහද පිළිසඳරක නිරත විය.

අවට කඳු පංතියේ සුන්දරත්වයට හානි නොවන අයුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසරය රැක දෙන ලෙස නුවරඑළිය ග්‍රෙගරි වැව අසළ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. ස්වයං රැකියාවක් ලෙස කාන්තාවන් පිරිසක් එක්ව පවත්වාගෙන යන “බජ්ට් පැක්” එළවළු සහ පළතුරු ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය සහ ඉඩම් ඔප්පු නොතිබීමෙන් පැන නැගී ඇති ගැටළු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

පුවත්

Most popular