Presidential Secretariat of Sri Lanka

නව වසරේ වැඩ අරඹමින් ජනපති මැති ඇමති සහ කාර්ය මණ්ඩලය හමු වෙයි

නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා ඔවුන් අමතමින් සඳහන් කළේය.

උදා වූ 2021 නව වසරට මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට  සුබපැතුම් පුද කළ ජනධිපතිතුමා පිරිස සමග සුහද කතා බහක  නිරත විය.

නව වසරක සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව දීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම”  ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයකට  සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

වෘත්තීමය නායකත්වයකට රට යොමුව තිබේ. කොවිඩ් වසංගතයත් සමග ඇතිව තිබෙන “නව සාමාන්‍යකරණය” (New Normal) යටතේ ජනතා අභිලාෂයන් ඉටු කරන රාජ්‍ය සේවයක් ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව ජයසුන්දර මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ වුවද ලක්ෂ 15කට අධික රජයේ සේවකයන්ටත්, ලක්ෂ 06කට අධික  විශ්‍රාමිකයන්ටත් කිසිදු කප්පාදුවකින් තොරව නියමිත වේලාවට වැටුප් සහ දීමනා ගෙවූ ලොව එකම රජය ශ්‍රී ලංකාව බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයා සුරැකීමට  ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කැප වී සිටී. උපරිම ජනතා සේවයකට කැපවීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව  ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහූ මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

පුවත්