Presidential Secretariat of Sri Lanka

එඩ්වින් ආරියදාස මහතා පිලිබද ‍ශෝක පණිවිඩය

ශෝක පණිවිඩය

ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට සහප්‍රාමාණික වියතෙකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂයය ගණනාවක ප්‍රගමනයට දායක වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගය දනවන්නකි. බහුවිධ ක්ෂේත්‍රයන්හි තමන් සතුව තිබූ පැතිරි දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන් යුතුවය.

බහුතර ජනතාව ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා හඳුනාගෙන සිටියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙසිනි. ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහභාගි වෙමින් ජාතික පුවත්පත් රැසක ප්‍රවර්ධනයට දායක විය. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙහිම හසල දැනුමක් ඇතිව සිටි ඔහු ඉංග්‍රීසි බසින් තමා උගත් දේ සිංහල පාඨකයාට සහ ශ්‍රාවකයාට නොමසුරුව බෙදා දුන්නේය. ආරියදාසයන් “ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් අගයනු ලැබූයේ ඔහු රැස්කරගත් දැනුම් සම්භාරය නිසාය.

එඩ්වින් ආරියදාසයන්ගේ ආකර්ශණීය ලේඛන ශෛලිය සහ සංකීර්ණ විෂයයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව දහස් සංඛ්‍යාත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ග්‍රාහකයන් ඔහු වටා ඇද බැඳ ගැනීමට හේතු විය. ලෝකආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රවණතා පිළිබඳව නිරතුරු අවදියෙන් පසු වූ ලේඛකයෙකු සහ විචාරකයෙකු ලෙස ද ඔහු නමක් දිනාගෙන තිබිණ. ඔහු අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ජනමාධ්යර විෂයය ස්ථාපනය කොට වර්ධනය කිරීමට කළ කාර්යභාරය පැසසුම් කටයුතුය.

භාෂා විශේෂඥයෙකු වූ එඩ්වින් ආරියදාසයන් මාධ්‍ය ශබ්දකෝෂයට එක්කළ පාරිභාෂිත වචන රැසකි. අසූව දශකයේ රූපවාහිනිය ආගමනයේදී වැඩසටහන් සම්පාදනයට ඔහු සක්‍රීය ලෙස දායක විය. විද්‍යා ලේඛකයෙකු, සිනමා විචාරකයෙකු, පරිසරවේදියෙකු ලෙස ද එඩ්වින් ආරියදාසයන් කීර්තියට පත්ව සිටියේය. බහුවිධ විෂයයක්ෂේත්‍රයන්හී ප්‍රදර්ශනය කළ විෂධ බව නිසාම එතුමා “කලාකීර්ති” ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීය.
ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අභාවය අපේ සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කරයි.
ජේෂ්ඨ මාධ්‍යවේදි එඩ්වින් ආරියදාසයන්ට අජරාමර නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

පුවත්

Most popular