Presidential Secretariat of Sri Lanka

පාම් ඔයිල් ආනයනය තහනම් කළේ මහජන සෞඛ්‍යයට අහිතකර නිසා

  • අතුරු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත ප්‍රභේද ගෙන්වීමට ඉඩ ….

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට  හානිකර බැවිනි. දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබිණ.

එසේ වුවද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ.

1511.90.10 සුසංගත කේතාංකය (Harmonized System code) සහිත ප්‍රභේදය එවැන්නකි. එය ව්‍යවහාරයේ දී පාම් ස්ටියරින් යනුවෙන් (Palm Stearin) හඳුන්වනු ලැබේ. අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස මේ ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නැත.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතල විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබීය. එහෙත් සායනික අවශ්‍යතා සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී තිබේ. පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරයද එබඳුය.

කටුපොල් වගාව, ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරු වීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබිණ. එබැවින් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06කට පමණ පෙර කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙන ලදී. දැනට තිබෙන කටුපොල් වගාව වරකට 10% බැගින් අදියරෙන් අදියර ගලවා ඉවත් කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගා කිරීමට සැලසුම් කර තිබේ.

පුවත්

Most popular