Presidential Secretariat of Sri Lanka

“එම්වී එක්ස් – ප්‍රෙස් පර්ල් (MV X- Press Pearl) නෞකාවෙන්” සමුද්‍රීය පරිසර පද්ධතියට විය හැකි හානිය අවම කර ගැනීමට ජනපති උපදෙසින් ක්‍රියාමාර්ග රැසක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් – ප්‍රෙස් පර්ල් නෞකාවෙන්”  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට  වන හානිය අවම කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාළගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. මෙවැනි ආපදා තත්ත්වයන් කළමනාකරණ කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබද සැලකිලිමත් වන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබිණ.

වෙරළ තීරයට ගොඩ ගසා ඇති ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව දැනටමත් ආරම්භ කර ඇත.

සිංගප්පුරුවේ ලියාපදිංචි මෙම නෞකාව පසුගිය 20 වනදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්විය. නයිට්‍රික් අම්ලය, රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ඇතුළු භාණ්ඩ රැගෙන නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබිණ.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විටත් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරීක්ෂණයට ලක්කර ඇත. තවද නෞකාව හිමි සමාගම රක්ෂණ ආයතනය සහ සෙසු පාර්ශවයන් සමග ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද  සාකච්ඡා කර තිබේ.

ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන සිටින නාවික සහ ගුවන් හමුදාවන්ට සහ සෙසු සියලු පාර්ශවයන් ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙරළ තීරය කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

පුවත්

Most popular