Presidential Secretariat of Sri Lanka

අතිගරු ජනාධිපතිතුමාගේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුවය.

සම්බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම මෙන්ම
දූ දරුවන් සමග එක්ව වෙසක් සමයේ පිළිවෙත් පිරීම හා ආමිස පූජා පැවැත්වීම අනාදිමත් කාලයක පටන් පැවත එන අපගේ බෞද්ධ සම්ප්‍රදායයි.

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් අපට සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ  මත  තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. එහෙත් උතුම් තෙමඟුල සිහිපත් කොට තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදීමට එය බාධාවක් නොකර ගතයුතුය.

සකලසත වෙත මෛත්‍රීය පැතිරවීමට බුදුන්වහන්සේ දේශනා කළ සේ ම, අනන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්, යහපැවැත්මත් උදෙසා කැපවීම මේ වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම බෞද්ධයාගේ මෙම උතුම් ගති ලක්ෂණය ලොවට ආදර්ශයෙන් පෙන්වා දීමට ද මෙය අවස්ථාවක් වන්නේය.

රටේ පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සංකේතවත්ව පමණක් වෙසක් මහෝත්සවය පවත්වන ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ කළ අනුශාසනාව අප සිත්හි දරා ගනිමින් සියලු රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවනින් යුතුව සැමරීමට කටයුතු කළ යුතුය.

සුදුද්දසං සුනිපුණං                   –         යත්‍ථකාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී        –        චිත්තං ගුත්තං සුඛාවහං

“රූපයක් නැති බැවින් දැකීමට ඉතා අපහසු වූ, ඉතා සියුම් වූ තමන් කැමති අරමුණක වැටෙන්නා වූ සිත, නුවණැත්තා රකින්නේය. එසේ රැකගත් සිත සැපය ලබන්නේය” යනුවෙන් ධම්මපදයෙහි පැහැදිලි කෙරේ. උක්ත ගාථා පාඨයට අවධානය යොමු කොට සියලු දෙනා ගෝලීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ සිත සංවර කරගනිමින්, නුවණැතිව කටයුතු කිරීම අපගේ සමාජ වගකීම ද වන්නේය.

මෙම උතුම් වෙසක් සමයේ සැදැහැ සිතින් පෙහෙවස් රකිමින් සැදැහැවත්ව පුරන පිළිවෙතින් රටේත්,
ලෝ වැසි සියලු ජනතාවගේත් කායික, මානසික සියලු පීඩා දුරු වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2021 මැයි මස 25 වන දින

පුවත්

Most popular