Presidential Secretariat of Sri Lanka

ජුනි 07 තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනපතිගෙන් තීරණයක්

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවියට ජංගම සේවා..
  • එන්නත්කරණය අඛණ්ඩව..

ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගනුලැබිණ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා  අතරමැද තෝරාගත් දින 03ක් විවෘතව තැබීම මීට පෙර තීරණයවිය. එහෙත් පසුගිය 25 වනදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය  වසංගතය පැතිර යාමට ඉඩහැරීමකි. වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනුලැබිණ.

ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටුවීමටත්, ඉදිරි දින සඳහාජනතාවට අවශ්‍ය  භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර දී තිබේ. මාර්ගවල ගමන් කිරීමේදීසේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති  ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වේ. කොවිඩ් වසංගතය පැතිර යාමවැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

සයිනොෆාම් එන්නත ලබාදීම මැයි මස 08 වනදා සිට ආරම්භ කෙරිණ. එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට,  ජුනි මස 08 වනදා සිටමාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශවෙත උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව දජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන්ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධහමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular