Presidential Secretariat of Sri Lanka

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන්

මිහින්තලා පුදබිම ජනපති සුරතින් ඒකාලෝක වෙයි..

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (24) ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්විණ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව “ලොව සෑම දෙනා  සුවපත් වේවා” යන්නයි.  මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 සිට 27 දක්වා සැමරෙන පොසොන් සතිය තුළ රතන සූත්‍ර දේශනාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු විවිධ පිංකම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පොසොන් රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ පොසොන් රාජ්‍ය උත්සවය පිළිබඳ අනුශාසනාව සිදු කළහ.

පූජෝත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධාන කර තිබූ අතර, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි ස්වාමීන් වහන්සේ,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුළූවේ විමල ස්වාමීන් වහන්සේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුශාසනා පැවැත්වූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

පොසොන් රාජ්‍ය මහෝත්ස්වයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පුජාව විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස් ආයතනය) සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 59 වෙනි වරට පිංකම සංවිධානය කර තිබිණි.

SLT – Mobitel සමාගම නිර්මාණය කර ඇති මිහින්තලය පුදබිමේ ත්‍රිමාණරූපී ප්‍රතිනිර්මාණය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ. poson.sltmobitel.lk වෙත පිවිසීමෙන් මිහින්තලා පුදබිම දැකබලා ගැනීමට මින් අවකාශය සලසා තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න, කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්