Presidential Secretariat of Sri Lanka

ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට…

  • සුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙසතියක දී..
  • පළාත් ඇතුළත දුම්රිය ධාවනය සඳුදා සිට..
  • පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 සිට..
  • පළාත් සංචරණ සීමා 31 පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය..

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කෙරිණ. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි විය.  එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය. උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට  පමණක් පළමු අදියර යටතේ ගමනාගමනයට අවසර දීමට කොවිඩ් කමිටුව නිර්දේශ කළේය. අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු  සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

පුවත්

Most popular