Presidential Secretariat of Sri Lanka

දීපාවලි දින පණිවිඩය

අවිද්‍යාවේ ගණ අන්ධකාරයෙන් බැහැර වී සිත් පහන් කරවන ප්‍රඥාලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංකේතවත් කරයි.

ලොව පුරා හින්දු බැතිමත්හු සමරන බොහෝ උත්සවවලින් දීපාවලි උත්සවයට හිමිවනුයේ විශේෂයකි. හින්දු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් සහ ඉපැරණි සංස්කෘතික මංගල්‍යයක් වන දීපාවලි මංගල්‍යය මඟින් ජීවිතයේ අයහපත දුරු කර
යහපත උදාකර ගැනීම අපේක්ෂා කෙරේ.

මෙම පහන් මංගල්‍යයෙන් සංකේතවත් කරනුයේ, ගුණවත්කමේ බලමහිමය සහ අහංකාරත්වයේ නිසරු බවයි. ප්‍රමාද වී හෝ සත්‍ය ජයගන්නා බවත්, අන්ධකාරයෙන් සංකේතවත් කරන නිසරු බව පහව ගොස්, සශ්‍රීකත්වය, සතුට හා සාමය පිරි සෞභාග්‍යය උදාවෙන බවත් හින්දු බැතිමත්හු විශ්වාස කරති.

පාරිසරික සෘතු විපර්යාස සමග අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් ආධ්‍යාත්මික හුවමාරුව ඉතා ප්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරනු ලබන, දීපාවලි මංගල්‍යය ලොකු කුඩා සියලූ දෙනා තුළ සතුට සහ උද්‍යෝගය ඇති කරවයි.

දීපාවලි මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලූ දෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2021 නොවැම්බර් මස 03 වන දින

පුවත්