Presidential Secretariat of Sri Lanka

අභාවප්‍රාප්ත ‍ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

කෘතහස්ත දේශපාලනඥයකු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ‍ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය පොලිස් රථ පෙළපාලියක් පෙරටුකරගත් විශේෂ අවමංගල්‍ය රථයකින්, අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන එනු ලැබීය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පියගැට පෙළ අසලට දේහය රැගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව රතු පලස මතින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ශාලාවේ පිහිටි විශේෂ උත්සව ශාලාව වෙත දේහය රැගෙන ගොස් එහි තැන්පත් කරනු ලැබූහ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මල් කළඹ තැන්පත් කර ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය

පසුව හිටපු කථානායකවරුන්, මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, වේත්‍රධාරී, තානාපතිවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය විසින් දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කළහ.

පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ හිටපු කථානායකවරයාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පෙරවරු 10.00 තෙක් පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර තිබිණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන් විසින් සමරු සටහන් තැබීම සිදු කෙරිණි.

1941 සැප්තැම්බර් 15 වැනි දින උපත ලද ජෝශප් මයිකල් පෙරේරා මහතා, 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 වන දින දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කළේය.

1967-1970 කාලය තුළ ජා-ඇළ නගර සභාවේ උප සභාපතිවරයා ලෙසත්, 1970-1971 දී ජා-ඇල නගර සභාවේ සභාපතිවරයා ලෙසත් ඒ මහතා කටයුතු කරනු ලැබීය.

1971 සිට 1976 තෙක් ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද කටයුතු කළේය. 1978-1988 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබීය.

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතා 1989 සිට 2015 දක්වා ස්වදේශ කටයුතු අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධූර රැසක් ද හොබවා තිබුණි.

පුවත්